Pages

Friday, December 30, 2016

මියැදුණා


විඩාවයි මගෙ දෙනෙත් යුග.... නුඹ නමින් කඳුලැල් උන උනා
විලාපය මොර දිදී.... වෙව්ලන ස්වරය............ භීතිය කැටිවනා
විනාසෙට ඇප වෙවී... හිත් නුඹ නිසා............. දහසක් රිදවුණා
විලෝචන රුහිරෙන් පිරූ යක් දෙව් දෙවෙස මැද....... මියැදුණා

Sunday, December 25, 2016

ගී


ගයමි ...
ඇසුමට නොහැකි ගී ... 
අසමි ...
ගැයුමට නොහැකි ගී ... 

Thursday, December 22, 2016

රසට උයපු කෙනෙක්


අප්පච්චී,
තරහ වෙන්න එපා ...
කවදාවත් නොකියපු රහසක් කියන්නම් ...
අප්පච්චිටත් වඩා රසට උයපු කෙනෙක් හිටියා ...
ඊට වඩා රසට මං කොහෙන් වත් කාලා නෑ ...

Tuesday, December 20, 2016

මල්ලි


මල්ලි සමයං කරන්න එපා ...
ඇණයක් නොවී යනවකො ...
මට ‍මේ වැඩේ කර ගන්න දෙන්නෙම නැද්ද ...
මල්ලි පොඩ්ඩක් සද්දෙ අඩුවෙන් කතා කරනවකෝ ...
දෙනවා පස්ස රත් වෙන්න දැන් හරිද ...
මොකද ‍‍අනුන්ගෙ ෆෝන් බලන්නේ ... ලැජ්ජා නැද්ද ...
ගේම් ගහලා බැට්රි ලෝව් වෙද්දෙන්කෝ ...

නිතර දෙවේලේ මේවා කියන්න වෙලා ... උදේ පාන්දර දොර ළඟට ඇවිත් නින්ද කඩන, කොයි වෙලේ කවුරු ටොයිලට් ගියත් එළියෙන් දොර වහන, නිවාඩු මාසේ කියලා නෑ කුකුලට කලින් ඇහැරෙන, හයියෙන් උදේ පාන්දර ශ්‍රැතියෙන් පිට සින්දු කියන මල සන්නියක් ඉන්නවා මේ ගෙදර ... ඒකත් එක්ක Research එක කරනවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙවේ කරන්න බැරි වැඩක් ... මල්ලිලා සිටින අයට ජය වේවා ! 

Saturday, December 17, 2016

උඹ දීපු හැමදේම

'<3 
උඹ දීපු හැමදේම හරි සුන්දරයි ... 
යහන මගෙ සුර ලෝකයක් සේ හැඟෙයි...
පුුංචි දැරියක් වගේ සිත දඟ කරයි ...
මගෙ පුංචි කාලයට යලි සිත ඇදෙයි ...'


උඹ දීපු හැමදේම හරි සුන්දරයි ...
යහන මගෙ සුර ලෝකයක් සේ හැඟෙයි...
පුුංචි දැරියක් වගේ සිත දඟ කරයි ...
මගෙ පුංචි කාලයට යලි සිත ඇදෙයි ... 

Wednesday, December 14, 2016

කතාවක්...


වසර සතරක ඉහත මතකය,
අද මගේ සවනත මුදා හැර,
තරුවකින් මා පැතූ නුඹ කියු,
අසිරිමත් එක කතාවක්...
.
දමා යන්නට එපා කිය කිය,
කඳුලු මුතු පිනි දිය මුදා හැර,
හොර හොරෙන් සඳ සිනාසී කියු,
එක් පසක පෙම් කතාවක්...
.
පහන් සිතිවිලි ගෙනෙන ස්නේහය,
සහන් නුඹ සිත හැඳිනු එ අයුර,
අනිම්මිස නෙත් මා කෙරේ තියු,
මම නොදත් නුඹෙ කතාවක්...
.
හිමිව අහිමිවු නුඹේ කරුමය,
නුඹෙම වේ දැයි පෙරුම් පුර පුර,
පුංචි පිටු වල මට හොරා ලියු,
දුක වෙලා ගත් කතාවක්...
.
විටෙක කඳුළුය විටෙක රුහිරය,
නමුදු බෝ තැන් සිනා සිරිසර,
නුඹේ ලෝකය මගෙ ළඟින් තියු,
අහිංසක රුදු කතාවක්...
.
උකුසු කඳුලට මුලා වී ගිය,
ඉරණමේ සරදමින් බිය කර,
ඉවුරු දෑලක පරතරය තියු,
කුරිරු කම් පිරි කතාවක්...
.
පිරූ පෙරුමෙන් ලද සෙනේහය,
ළඟ රඳන පින් දියෙන් බොඳ කර,
යලිඳු පෙර පින් මහිමයෙන් ලියු,
යළි නොවෙන්වන කතාවක්...

Tuesday, December 13, 2016

කියා යනවද සිදු වුණේ කිම දූගේ හීනෙන් ඇහැකි නම්...

':( 
ලොකුයි චූටියි කිරිදුවයි
මැද්දට වෙලා ඉඳගෙන ඉතින්,
තුටිං ඉද්දී තවත් සැපතක් 
නොවෙන්නට ඇති නුඹට නම්...
ඔඩෙක්කෙට ගෙන කියා සුරතල් බස් 
නොදන්වා නුඹ අපෙන්,
ගිහිං දෙමසක් ගියත් ගිය බව 
හැඟෙන්නෙම නෑ මෙමට නම්...
.
තුමණි හට් කිට් ඉන්ස්පෙක්ෂන් 
කොතෙක් ගෙටගොඩ වුණු පටන්,
තනන්නට අපෙ අතින් මන්දිර 
මදි වුණේ නෑ පැටික් නම්...
ගෙදර අය මෙස් ඩවුන් කර 
සැම එක්ව භෝජන වැළඳුමෙන්,
කිසි පියෙක් සතුටක් ලබන්නට 
නැතුව ඇති මෘදු නුඹ තරම්...
.
දෑස් හමුවේ කුඩුවෙලා ගිය 
සෙබල සොයුරන් ගැන කියන්,
අඬන්නැති නුඹ කියා අප හා 
උන්ගෙ මතකය කොතෙක් නම්...
රටට ලෝකෙට බොහෝ දැඩිලෙස 
පෙන්නුවත් නුඹෙ ගති ඉතින්,
ළදරුවෙකි සැමවිටම පෙණුනේ 
නුඹෙන් මේ කිරිදුවට නම්...
.
දිනක් බියුගල් හඬක් ඇසුණා 
මහයියාවේ සුසානෙන්,
දැවී නුඹෙ ගත ඉවර වෙන තුරු 
බලා සිටියා නගින දුම්...
අනේ මේ දුක් විලාපය 
ඇහිලවත් අප්පච්චී ඉතින්,
කියා යනවද සිදු වුණේ කිම 
දූගේ හීනෙන් ඇහැකි නම්... 
.'


ලොකුයි චූටියි කිරිදුවයි
මැද්දට වෙලා ඉඳගෙන ඉතින්,
තුටිං ඉද්දී තවත් සැපතක්
නොවෙන්නට ඇති නුඹට නම්...
ඔඩෙක්කෙට ගෙන කියා සුරතල් බස්
නොදන්වා නුඹ අපෙන්,
ගිහිං දෙමසක් ගියත් ගිය බව
හැඟෙන්නෙම නෑ මෙමට නම්...
.
තුමණි හට් කිට් ඉන්ස්පෙක්ෂන්
කොතෙක් ගෙටගොඩ වුණු පටන්,
තනන්නට අපෙ අතින් මන්දිර
මදි වුණේ නෑ පැටික් නම්...
ගෙදර අය මෙස් ඩවුන් කර
සැම එක්ව භෝජන වැළඳුමෙන්,
කිසි පියෙක් සතුටක් ලබන්නට
නැතුව ඇති මෘදු නුඹ තරම්...
.
දෑස් හමුවේ කුඩුවෙලා ගිය
සෙබල සොයුරන් ගැන කියන්,
අඬන්නැති නුඹ කියා අප හා
උන්ගෙ මතකය කොතෙක් නම්...
රටට ලෝකෙට බොහෝ දැඩිලෙස
පෙන්නුවත් නුඹෙ ගති ඉතින්,
ළදරුවෙකි සැමවිටම පෙණුනේ
නුඹෙන් මේ කිරිදුවට නම්...
.
දිනක් බියුගල් හඬක් ඇසුණා
මහයියාවේ සුසානෙන්,
දැවී නුඹෙ ගත ඉවර වෙන තුරු
බලා සිටියා නගින දුම්...
අනේ මේ දුක් විලාපය
ඇහිලවත් අප්පච්චී ඉතින්,
කියා යනවද සිදු වුණේ කිම
දූගේ හීනෙන් ඇහැකි නම්...
.

Monday, December 12, 2016

බිඳී ගිය සිහිනයට,


බිඳී ගිය සිහිනයට,
පණ පෙවී මොහොතකට,
දිස් වුණා ඇස් ළඟම,
මගේ ලය රිද්දගෙන... 

Sunday, December 11, 2016

.කිරිබත

':D
කාගෙත් සැපට සතුටට උන් ...........කිරිබතට
හැකි අද එකතු වෙන්නට මගෙ ....තනිකමට
කවුරුත් නෑ බෙදාගෙන තුට .............විඳගන්ට
ඒකට මොකෝ බැරියෑ බදාගෙන ...........කන්ට'


කාගෙත් සැපට සතුටට උන් ...........කිරිබතට
හැකි අද එකතු වෙන්නට මගෙ ....තනිකමට
කවුරුත් නෑ බෙදාගෙන තුට .............විඳගන්ට
ඒකට මොකෝ බැරියෑ බදාගෙන ...........කන්ට — eating milk rice.

Thursday, December 8, 2016

අප්පච්චියා...

Vilochana Abeykoon's photo.

 චන්ද්‍රසිරි අබේකොන්
.
රැයේ අඳුරත් රෑහි හැඬුමත්,
සිසිලසත් මුරයට දමා...
තරු රැසක් දැවි දැවී යද්දී ,
කරන් බෝ නුබ සිරි නිමා...
ලොවම සැනකෙලි කලෙව් මත්තෙන්,
ගිම් නිවන්නට දෝ අමා...
චන්ද්‍රයා සැඟවුණා සදහට,
ලොවක් අඳුරට ඇද දමා...
.
නෙතට කඳුලක් නොආ දිනයක්,
නොවේ නුඹ ගිය දා පටන්...
පීර පීරා නුඹම සොයනෙම්,
නුඹේ මතකය ගුලි කරන්...
ලොවම දිනු දින තනා දෙන්නට,
සිතා උන්නත් සුව යහන්...
මගේ කුටියෙම මගේ යහනෙම,
ඇයිද වැසුවේ නෙතු පියන්...
.
සුදු කකුල් අත් පා බෙහෙත් ගා,
පිරි මදින්නට පෙර ලෙසින්...
වැඳලා වැඳලා මට කියා,
රෙදි සෝදගන්නැතිදෝ ඉතින්...
රැවුල් කැපුමේ ඉතිරි තැන්,
ඇද බලන්නට යලි මේ නෙතින්...
පිනක් නෑ මට ආයෙ,
කිරිදුව යැයි අසන්නට නුඹෙ හඬින්...
.
ඇඳුම් ගලපා හොඳින් මැදලා,
පිළිවෙලට උඩ එල්ලලා...
හොඳින් නා කර ආ සැනින්,
නුඹෙ පිටේ පව්ඩර් ගල්වලා...
කිරි දුවට පාඩුවේ ඉන්නට,
නොදී සැමවිට ගෙන්වලා...
වැඩ කියන්නට කෙනෙක් නැතියෙන්,
නුවර යන්නත් මැලි වෙලා...
.
ගමන් යද්දී පුතේ මට,
අර අරක ගෙන එන්නැයි කියා...
මෙන්න මේ වැනි කමිසයක්,
හොඳැයින් බලා ගන්නැයි කියා...
ගෙනැත් දුන් දේ කොයි වෙලෙත්,
පුන පුනා සෙනෙහෙන් ඇඳ තියා...
අනේ කොතෙකුත් සතුටු වෙන්නැති,
දුන් දෙයක් ඇද නොම කියා...
.
අද වගේ මට මතක දවසක්,
නුඹෙ උපන්දිනයක් කියා...
නුඹව එක්කන් තෑගි ගන්නට,
නගරයට හනිකට ගියා...
ආස ආසා දේම පෙන්නූ,
නුඹට ඒ සැම ගනු කියා...
උජාරුවකින් ආවෙ කිරිදුව,
නුඹව සතුටින් තියු නියා...
.
විහිලු කර කර මූණ ඇද කර,
හිනස්සන අප්පච්චියා...
පිරිත් කිය කිය පපුව මත්තේ,
නිදි කෙරූ අප්පච්චියා...
ඇතිනේ දැන් මට කඳුළු,
තව ඉවසන්න බෑ අප්පච්චියා...
හනික ඇවිදින් අරන් යනතුරු,
ඉන්නේ මං අප්පච්චියා...
.
 — hoping for the best.

Thursday, December 1, 2016

Forget me... Dear Kandy

Yeah I knew ...
I'm a burden ...
But ,
Not going to disturb you anymore...
Forget me...
Dear Kandy 

Wednesday, November 30, 2016

අප්පච්චි වගේ තවත් ඇති... මාව ඕන කෙනෙක්... ඔයාටත් ඇති... සතුටෙන් තියන්න එයාව...

හොඳින් කල්පනා කරලා බැලුවොත් මතක් වෙයි... මාව කෙනෙක්ට ඕන වෙනවා... මම නොහිතන වෙලාවක කෙනෙක්ට මාව ඕනෙ වෙනවා... සමහර විට මට පුලුවන් මගෙ එක වචනෙකින් ඒ ජීවිතයට හයියක් වෙන්න... මග ඇරුනොත් පස්සෙ මටම මං ගැන කළකිරෙන්න වෙයි.සමහර විට මාව ඒ කෙනාට වැදගත්ම නොවේවි.නමුත් වැදගත් වෙනසක් කරන්න මට එයා ඉඩ දෙනවා... මට ඒක කරන්න ගොඩාක් මහන්සි වෙන්න ඕනෙත් නෑ... පොඩ්ඩක් වැඩියෙන් හිතන්නයි ඕන...
.
මගේ එහෙම කෙනා............... මට සදහටම නැති උනා... ඔයාට එයා තවමත් ඉන්නව ඇති... එහෙනම් පරක්කු නෑ... පුංචි තෑග්ගක්... සැලකිල්ලක්... දුරකතන ඇමතුමක්... පුදුම කිරීමක්... දුක බෙදා ගැනීමක්... හොඳටෝම ඇති...
.
මගෙ අප්පච්චී... ගියත් හරි ඊයෙ පාන්දර පළවෙනි වතාවට හීනෙන් දැක්කා... පණ ඇවිත් ... මම සතුටෙන් බදාගත්තා... ඉම්බා... ඒත් අප්පච්චි අහනවා මම මේ කොහෙද ඉන්නෙ කියලා... මතකය නැති උනත් ජීවතුන් අතරනෙ කියල මම සතුටු වෙනවා... මම ඇහුවා...
Can't you see our future?
අප්පච්චි හිනාවෙලා ඔලුව වනලා ඔව් කියල පෙන්නුවා...මම ඇහුවා...
What do you think ?
හරිම සරළ විදිහට අප්පච්චි හිනා වුණා මොකුත් කිව්වෙ නෑ...
.
නින්දෙන් ඇහැරුණා... මට සාංකාවයි... පුංචි කාලෙ නිදාගන්න අප්ප්ච්චිගෙ පපුව උඩ නැගලා "අප්පච්චි මට කවි කියන්න... අප්පච්චි මට පිරිත් කියන්න " කිව්වම නින්ද යනකල් ඔලුව අත ගගා පිරිත් කිව්ව අප්පච්චි... දැන් මට අප්පච්චි නිසාම නින්ද යන්නෙ නැතිව පිරිත් අහලා නිදාගන්න වෙලා... යන වෙලාවෙත් මට කතා කරන්න හැදුවෙ... මම දන්නවා මොනවද කියන්න ගියේ කියලා... කොච්චර හෙව්වත් බැලුවත් තව හොයන්න තිබුණා මට...
.
අප්පච්චි වගේ තවත් ඇති... මාව ඕන කෙනෙක්... ඔයාටත් ඇති... සතුටෙන් තියන්න එයාව... 

Sunday, November 27, 2016

සඳ මගෙ නොවෙන්නට තිබුණා...


අමාවක නුඹ නැතැයි රැවටී,
ගියා නම් වෙන් වෙලා පෙර දා,
මෙහෙව් පුර හඳ දකින්නට,
පිං නොවෙන්නට තිබුණා...
සඳ මගෙ නොවෙන්නට තිබුණා...
.
මලට සුවඳක් දියට සිහිලක්,
එක්ව මැවෙනා මිහිර කෙලෙසද,
එවන් මිහිරක් නුඹට ලංවූ,
සැනින් මට දැනුනා...
ලොවේ ඇති වෙන කිසිඳු දේකට,
ලබාදෙන්නට නොහැකි සතුටක්,
නුඹෙ සෙනේබර එකම බැල්මක,
පවා මට දැණුනා...
.
නපුරු ලෝකය නපුරු කළ නුඹ,
නපුරෙකැයි මගෙ හිතත් කී නම්,
සොඳුර අප පැරදුමෙන් මිරිකී,
දෙතැන ලතැවෙනවා...
රිදුනු තැන් සුවපත් කරන්නට,
රිද්දු නුඹෙ සුරතම නොවී නම්,
මගේ සුදු සඳ මගේ පණ,
මම ලොවට සමුදෙනවා...
.
...::: විලෝචනා :::...

සත පහකට මායිම් නෑ...


සරුව වැඩෙන කල,
කොයි කවුරුත් බලාවි,
පෙර නොවූ විපරමකින්,
රෝස පඳුර දෙසම...
කියාවි බෝ කතා,
ඉර හඳ පවා ගෙනැවිත් දෙන්නට...
ගස්වලින් කඩන්නා සේ,
නෝට්ටු පොදි ...
රන් විමන් මන්දිර ...
යාන වාහන,
කිසිත් අඩු නැති සැපවත් දිවියකට,
නිතර කෙරෙන ඇරයුම්,
මට නම් සත පහකට මායිම් නෑ...
.
හිතුණා Call එකක් එද්දිම ...    

Saturday, November 26, 2016

Get well soon !


I will sing for you ...
I will play guitar for you ...
I will dance for you ...
I will paint for you ...
I will cook for you ...
I will tell stories for you ...
I will walk for you ...
I will run for you ...
I will write for you ...
I will wait for you ...
I will make surprises for you ...
After all ...
You have to Live a healthy long life instead ...
 U
.

Friday, November 25, 2016

තවත් නම් අහිමි වෙන්න දෙයක් නෑ...

'වැලහින්නක් වගේ වැලපිලා දැන් නම් හෙම්බත් වෙලා... උණුවෙන් සුදු බත් ඩිංගක් එක්ක පොල් සම්බෝල ටිකක් කන්න ඕනෙ හිතෙනවා... ඒත් කාට කියන්නද? එහෙම හිතෙද්දි අප්පච්චිගෙ මලගෙදර ආපු අංකල් කෙනෙක් කියපු කතාවක් මතක් උනා...
.
දුවේ... දවසක් මම එනකොට අප්පච්චි කුස්සියට වෙලා උයනවා...මට කිව්වා...

"කිරිදුව අද කැම්පස් එකේ ඉඳන් ගෙදර එනවා... දැන් කඩුගන්නාව හරියෙන් එන ගමන්ලු ... මම මේ කෑම හදනවා"
.
දුවේ හරි සතුටින් හිටියෙ... පුදුම මනුස්සයෙක් ඔයාලගෙ අප්පච්චි...
.
අංකල් කියද්දි මටත් මතක් උනා... ගෙදර ගිය ගමන් තේක හදලා ළඟට ගෙනත් දෙනවා...බත් ඉව්වම රස්නෙන් කන්න කිය කිය කතා කරනවා... 
.
මූණ පුරාම මාසයක් තිස්සෙ බිබිලි දාලා... සනීප වෙන්නෙම නෑ.එහා ගෙදර Aunty කිව්වේ ඇස්වහ බිබිලි කියලා... මට මතකයි මම O/L කරන කාලේ ඔහොම බිබිලි දාලා තිබිලා අප්පච්චිට ගිහින් පෙන්නුවා...අප්පච්චි ඔලුව උස්සලා කණ්ණාඩි අස්සෙන් බැලුවා.ඊළඟ පාර කොළඹ බෙහෙත් ගන්න ගිහින් ඇවිත් ... මට කතා කරා...
.
"මෙන්න බෙහෙත්...මූණෙ ගාලා ටික වෙලාවක් තියලා හොදලා දාන්න..."
.
ආයෙත් අතීතෙට ගිහින් එක පාරක් ... Land Cruiser එකේ අප්පච්චිගෙ උකුලෙ වාඩි වෙලා රට වටේ ඇවිදින්න... chalet එකට වෙලා ඉඳලා අප්පච්චි ආව ගමන් චූටි අයියා ගැන කේලම් කියන්න... පුංචි ඔලුවට අප්ප්ච්චිගෙ Peak එක දාලා පුංචි නිළධාරිනියක් වෙන්න...අප්පච්චි රසට උයන බත් ඩිංගක් කන්න... පුළුවං වුණා නම්... :(
.
දවසක් මම මගේ කාමරේට යනකොට අප්පච්චි මගෙ සහතික ෆයිල් එක බලලා... 
.
"කවද්ද ඔයාට මෙච්චර ඒවා හම්ඹුනේ? මම දන්නෙවත් නෑනේ..."
.
පුදුමයක් නෑ ... ජීවිත කාලෙම යුද්දෙට කැප කරපු අප්පච්චිට හර්මන්ලෝස් ඩිසොයිසා කඳවුරකදී එකම එක ජනාධිපති පදක්කමක් පළඳනවා දකින්න ලැබුනා ඇරෙන්න මගේ පාසලේ කිසිම තෑගි උත්සවයකට,වර්ණ රාත්‍රියකට කලා උලෙලකට සහභාගී වෙන්න ඉඩක් ලැබුණෙ නෑ... සරසවියේ අවසන් නිෂ්පාදනයටත් උපාධි ප්‍රධානෝත්සවයත් එහෙම මග ඇරුණා... 
.
තවත් නම් අහිමි වෙන්න දෙයක් නෑ... වටිනම කෙනා නැති උනාට පස්සෙ... එකින් එක එකින් එක හුස්ම ගලපගන්නෙ...සතුටෙන්ම ඉන්න දඟලන්නේ... අප්පච්චි කවදාවත් අපි අඬනවට කැමති නැති නිසා...  අප්පච්චිට තෙරුවන් සරණයි...!
.'

වැලහින්නක් වගේ වැලපිලා දැන් නම් හෙම්බත් වෙලා... උණුවෙන් සුදු බත් ඩිංගක් එක්ක පොල් සම්බෝල ටිකක් කන්න ඕනෙ හිතෙනවා... ඒත් කාට කියන්නද? එහෙම හිතෙද්දි අප්පච්චිගෙ මලගෙදර ආපු අංකල් කෙනෙක් කියපු කතාවක් මතක් උනා...
.
දුවේ... දවසක් මම එනකොට අප්පච්චි කුස්සියට වෙලා උයනවා...මට කිව්වා...

"කිරිදුව අද කැම්පස් එකේ ඉඳන් ගෙදර එනවා... දැන් කඩුගන්නාව හරියෙන් එන ගමන්ලු ... මම මේ කෑම හදනවා"
.
දුවේ හරි සතුටින් හිටියෙ... පුදුම මනුස්සයෙක් ඔයාලගෙ අප්පච්චි...
.
අංකල් කියද්දි මටත් මතක් උනා... ගෙදර ගිය ගමන් තේක හදලා ළඟට ගෙනත් දෙනවා...බත් ඉව්වම රස්නෙන් කන්න කිය කිය කතා කරනවා...
.
මූණ පුරාම මාසයක් තිස්සෙ බිබිලි දාලා... සනීප වෙන්නෙම නෑ.එහා ගෙදර Aunty කිව්වේ ඇස්වහ බිබිලි කියලා... මට මතකයි මම O/L කරන කාලේ ඔහොම බිබිලි දාලා තිබිලා අප්පච්චිට ගිහින් පෙන්නුවා...අප්පච්චි ඔලුව උස්සලා කණ්ණාඩි අස්සෙන් බැලුවා.ඊළඟ පාර කොළඹ බෙහෙත් ගන්න ගිහින් ඇවිත් ... මට කතා කරා...
.
"මෙන්න බෙහෙත්...මූණෙ ගාලා ටික වෙලාවක් තියලා හොදලා දාන්න..."
.
ආයෙත් අතීතෙට ගිහින් එක පාරක් ... Land Cruiser එකේ අප්පච්චිගෙ උකුලෙ වාඩි වෙලා රට වටේ ඇවිදින්න... chalet එකට වෙලා ඉඳලා අප්පච්චි ආව ගමන් චූටි අයියා ගැන කේලම් කියන්න... පුංචි ඔලුවට අප්ප්ච්චිගෙ Peak එක දාලා පුංචි නිළධාරිනියක් වෙන්න...අප්පච්චි රසට උයන බත් ඩිංගක් කන්න... පුළුවං වුණා නම්... 
.
දවසක් මම මගේ කාමරේට යනකොට අප්පච්චි මගෙ සහතික ෆයිල් එක බලලා...
.
"කවද්ද ඔයාට මෙච්චර ඒවා හම්ඹුනේ? මම දන්නෙවත් නෑනේ..."
.
පුදුමයක් නෑ ... ජීවිත කාලෙම යුද්දෙට කැප කරපු අප්පච්චිට හර්මන්ලෝස් ඩිසොයිසා කඳවුරකදී එකම එක ජනාධිපති පදක්කමක් පළඳනවා දකින්න ලැබුනා ඇරෙන්න මගේ පාසලේ කිසිම තෑගි උත්සවයකට,වර්ණ රාත්‍රියකට කලා උලෙලකට සහභාගී වෙන්න ඉඩක් ලැබුණෙ නෑ... සරසවියේ අවසන් නිෂ්පාදනයටත් උපාධි ප්‍රධානෝත්සවයත් එහෙම මග ඇරුණා...
.
තවත් නම් අහිමි වෙන්න දෙයක් නෑ... වටිනම කෙනා නැති උනාට පස්සෙ... එකින් එක එකින් එක හුස්ම ගලපගන්නෙ...සතුටෙන්ම ඉන්න දඟලන්නේ... අප්පච්චි කවදාවත් අපි අඬනවට කැමති නැති නිසා... අප්පච්චිට තෙරුවන් සරණයි...!
.
 — feeling tired.

Wednesday, November 23, 2016

දීර්ඝායු වේවා...!

සිය හුස්ම කෙටි බැව් දැන...
මා කෙසෙත් නොයන බැව් දැන...
නොමරා මරන තරමට...
වද දී මට...
දරුණු වෙස් පෙන්වා...
කලකිරෙන්නට තැත් කර...
යන්නට සැරසුනේ නොකියම ...
නොහැඳින ද?
මේ හිත...
අනිකුන්ට දිවිය සිය වසක් වුව...
මට එයින් කම් නැත...
වේවි මට සත් වසක්
මගේ මුළු දිවියම...
නව මසක් නුඹ දුටුව සිහිනයට...
පවරමි මෙලෙස සින්නක්කර හිමිකම...
දීර්ඝායු වේවා...!

Monday, November 21, 2016

මේ ... උඹ උඩරට කුමාරි හාමිද...

 මේ ... උඹ උඩරට කුමාරි හාමිද... පහතරට එවුන් එක්ක කන්න බෑ කිව්වා කියන්නේ?
.
Rag season එකේ හෙන preasure එකෙන් හිටියෙ.Orientation dawas wala ලෙක්චර් එකේ ඉඳන් ඉද්දි අපේ batch එකේම කොල්ලෙක් ඇවිත් එහෙම ඇහුවම මම ඩිම් උනා...
.
ඔයාට හොඳටම sure ද ඔයා ඔය ප්‍රශ්නෙ හරි කෙනාගෙන් ඇහුවෙ කියලා... ?
.
මම එහෙම ඇහුවෙ මට හිතාගන්නම බැරි තැන... ඒ දවස් වල මම හිටියෙ සිතිජ සහ සචිනි එක්ක... සිතිජ මාතර.සචිනි ගාල්ලේ.ඉතින් පහතරට ඩබලක් එක්ක හැමදාම බත් කන මගෙන් අර වගේ දෙයක් ඇහුවම මට විහිලුවක් වගේ... ඒත් මේ කොල්ලා පිලිගන්නෙම නෑ... මට තරහ ගියා... හොයන්නෙ බලන්නෙ නැතුව කෑ ගහපු නිසා... පස්සෙ සිතිජ ගිහින් ඒ කොල්ලට පැහැදිලි කරා... ඒ ළමය මට කතා කරගෙන ආවත් මම කිව්වා...
.
"කරුණාකරලා මාත් එක්ක ආයෙ කතා.... කරන්න එන්න එපා... "
.
අවුරුදු 4 ම මූණට මූණ හම්ඹුනත් කවදාවත් හිනා උනේ වත් නෑ.ඒත් පහුගිය Production දවසෙ දෙන්නටම කතා නොකර හිනා නොවී බැරි උනා... අවුරුදු 4ක්ම තිබුණ හතුරු කමත් ... ඒ විදිහට අහවර වුණා...

Sunday, November 6, 2016

ඕනෙ මෙච්චරයි...

ජීවත් වෙන්න
ජීවත් කරවන්න
ජීවත් වෙනව බලලා සතුටු වෙන්න...

Saturday, October 29, 2016

කිසාවත


දිව විත් සැනින්
දී රස බොජුන්
හනිකට ඇදෙන
මා සඳ කිඳුර...
.
කුස ගිණි නිවා
සිත බෝ තුටින්
සෙනෙහස කියන
වෙන උන් කවර...
.
තනි කම් නොදී
සෙවනැල්ල සේ
මා පසු පසින්
රැඳෙමින් නිතර
.
නුඹ දෙස බලා
නිබ්බුත පදය
ගයනා කිසාවත
වෙමි මෙවර...

අනත් දැරිය

සුදු වතින් සැරසී
කච්චේරි බිල්ඩිමේ
හෙමි හෙමින් පිය මැන්න
ඇයටත් මටත්...
.
කිසිදිනක හුරු නොවුනු
වචන යුගලක රිදුම
කටු කෙවෙන සේ දැනුණි
කීවත් නැතත්
.
වැනදඹුව කර ඇයව
අප අනත් දරු කෙරුව
ඒ කටුක හිත් රිදුම
පෙනුනත් නැතත්
.
දරාගනු කෙලෙස අප
කඳුලු බිඳු නොසලාම
නුඹ යළිඳු අප ළඟට
ආවත් නැතත්...
.
මා අනත් දැරියක කර නොකියාම යන්න ගිය සොඳුරු මනු සිත... අප්පච්චී...හිතේ දෝන්කාර දෙන බියුගල් හඬ මේ තරම් කටුක විදිහට දැනිලා නෑ කිසිදවසක... නුඹ ගියෙන් කිරි දෝණි තමයි තනි උනේ... 

Sunday, October 23, 2016

අච්චා ...

අච්චා ... කිරිදෝණිට නිදා ගන්න ඔලුව අත ගගා කවි පිරිත් කියන්න ආයෙ කවදාවත්ම එන්නේ නැල්ලු.හැමදාම ගෙයින් පිට වෙන්න කලින් දණ ගහලා වඳිනකොට අච්චා මගේ නළල ඉඹිනවා ... ඒත් මුළු ජීවිත කාලෙටම මං අච්චගේ නළල ඉම්බෙ දෙපාරයි ... ඒ පෙට්ටිය ඇරපු ගමන් ... අනික පෙට්ටිය වහන්න මොහොතකට කලින් ... කිසිම රස්නයක් තිබ්බේ නෑ ... මට තවමත් මේක හීනයක් වගේ ... නෑ කියලා හිතෙන්නේම නෑ ...

රිද්දපන්


රිද්දපන් රිද්දපන් තව රිද්දපන්...
වැටෙන්නෑ කොහෙත් මම තව රිද්දපන්...
හිතේ හිරි ඇරෙනකල් තව රිද්දපන්...
රිදෙන්නත් බලාගෙන මට රිද්දපන්...

Monday, October 17, 2016

...::: කුණාටුවක් :::...

🙄
මට කුණාටුවක් වෙච්චි හුළඟෙ,
උඹ රෙදි වේලගන්න එකට නෙවෙයි මට දුක...
ඒ හුළඟ මට කුණාටුවක් වුණ හැටි උඹ අමතක කල එකට...
ටික කාලෙකින්...
ඒක මට දුකකුත් නොවේවි...
මොකද මට උඹත් සතපහකට මායිම් නොවෙන,
තවත් එකම එක මනුස්සයෙක් විතරක් ගාණට වැටුණ දාට...
රෙදි වේලගෙන ඕනෙ නම් සරුංගල් යැව්වත්,
මට වගක් නැති හින්ඳා...
ඒ නිසා...
තෝරගණින්...
එක්කො මාව...
එක්කො හුළඟ...

Wednesday, October 12, 2016

අප්පච්චී නුඹට නියතයි නිවන් සුවේ

Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.
නුඹෙ හද ගැහෙන විට මෙච්චර මල් සුවඳ
නුඹ වට තිබුණි නම් කෙතරම් අගනේද
ධනයට වඩා මිනිසුන් ඉපයූ සුහද
නුඹෙ ගුණ වැණුම සිය වසකින් කල හැකිද
.
කට රස කල බොජුන් සිය දෑතින්ම උයා
කනතුරු බලා හිඳ රසදැයි වරුණෙ කියා
යුධ බිම රස කතා නෙත ළඟ මවා තියා
නුඹ මා උකුලෙ ඉන්ඳා රට වටා ගියා
.
පිපුරුම් හඬින් පසු නොබැසූ විරුවාණ
දම් පද මැනව වනපොත් කල සමිඳාන
පන්සල් පිලිම කරවූ පින් ගිහියාන
නුඹමය දිවිය කවියක් කල කිවිඳාන
.
ආගම් ජාති හැර අත හිත දුන් නුඹගේ
ගුණ වණනවුන්ගේ බස වත් මට නොහැගේ
එනමුදු ඉනුව කඳුලැලි දැක උන් නෙතගේ
ආඩම්බර වුණා හදවත කිරි දුවගේ
.
සෙබලුන් දහස් ගණනින් විනයෙන් තැනුව
නුඹෙ සරඹමයි මා ගත ලදුවෙත් විරුව
නුඹෙ ගති මට වෙතැයි බෝ පැසසුම් ලදුව
සැම විට ඉපිලුනා සිත මා තෙද ඇතිව
.
හිරු නැග බසින මොහොතට පමණක්ම නොවේ
නුඹ මට පෙරට වැඩියෙන් සිහියට නැංවේ
බියුගල් හඬින් නුඹ හට සමු දුනිමි නොවේ
අප්පච්චී නුඹට නියතයි නිවන් සුවේ

Tuesday, September 27, 2016

ඉස්පිරිතාලේ...


දැනුනත් මහ තනියක්
බෑ ඇස් වත් පියා ගන්න...
අනික් ලෙඩ්ඩු සේරම යස නින්දක...
මම විතරක් අවදියෙන් ...
දකුනට හැරුණත්,
වමට හැරුණත්,
උඩට හැරුණත්,
පුදුම වේදනාවක්...
අයියේ...
මං පවු කාරියක්...
මේ ඉස්පිරිතාලේ...

Sunday, September 4, 2016

අරමුණ I සෙනෙහස


නුඹට අරමුණක් නැත...
මට සෙනෙහසක් නැත...
මට සෙනෙහසක් ඇති තැන,
නුඹට අරමුණක් නැත...
නුඹට අරමුණක් ඇති තැන,
මට සෙනෙහසක් නැත...

Wednesday, August 31, 2016

...::: එනු මැන මා අවදි කර :::...


හීතලක් වී දෙතොල් තෙත් කර,
සිහිනයේ රස තැන් සොඳුරු කර...🤫
සිහිල් ඇල් බිඳු ලෙසින් විසිරී,
ලමැද සිප දිගු රැය පහන් කර............😍
දෑ මසක් රෑ දිවා එක ලෙස,
දකින සිහිනේ කුමරු නුඹ හැර...............😳
කිසිඳු කිසිවෙකු රඟන සිහිනෙක,
නොලා එනු මැන මා අවදි කර.....................😘

Thursday, August 25, 2016

හතිලන්න...


බරැති හිස ඇහැකි නම්,
ගෙලෙන් සිඳ මොහොතකට...
පසෙක ලා නිවිහැනිල්ලේ,
මදක් ඇලවෙන්ට...
ඇති වැඩක් නැති නමුත්,
සැනෙන් යන ගමනකට...
හැකි වේවි ඇබින්දක්,
නතර වී හතිලන්න...

Monday, August 15, 2016

ක රු ම ය ක්


මැවෙනවා...
පේනවා ...
හිනාවෙනවා...
මායාවක් ...

රැවටිල්ලක්...
වේදනාවක්...
පසුතැවීමක්...
කාලකන්නි කමක්...
ආදරයක්...

බොරුවක්...
ආදරයක්...


රු


ක්

Thursday, August 11, 2016

...::: නුඹ කවුරු වුණත් :::...

'💖💙💜💛💚❤
.
නුඹ කවුරු වුණත්... 
මම නුඹට ආදරේ කරාවි... 
නුඹට මොනවා තිබුණත් නැතත්... 
මම නුඹ ළඟ ඇති දෙයින් සතුටු වේවි...
ලොකු හීන නැති හින්ඳම... 
දකින බිඳෙන හීන වලින්,
වේදනාව අඩු වේවි... 
හිනාවට කතාවට මුමුණන ගීයට...
මාළිගා නැති හිතක,
සරළ කමට නුඹෙ හිත ඇදිලා ඒවි...
නුඹ නිහැඬියාවට ආස යැයි 
තනිවෙන්න හිතුවත්... 
අවසන ඒ නිහැඬියාවම,
නුඹෙ කනස්සල්ලට හේතු වේවි...
මේ සරළ කම නුඹට දරන්න බැරි වේවි... 
යලි මං තනිවේවි...
මට අවැසි හිත,
මට මුණගැසෙන තුරු...
යලි මග බලාවි... 
ලොකු හීන නැති හින්ඳම... 
දකින බිඳෙන හීන වල,
වේදනාව අඩු වේවි... 
.
...::: විලෝචනා :::...'

💖💙💜💛💚
.
නුඹ කවුරු වුණත්...
මම නුඹට ආදරේ කරාවි...
නුඹට මොනවා තිබුණත් නැතත්...
මම නුඹ ළඟ ඇති දෙයින් සතුටු වේවි...
ලොකු හීන නැති හින්ඳම...
දකින බිඳෙන හීන වලින්,
වේදනාව අඩු වේවි...
හිනාවට කතාවට මුමුණන ගීයට...
මාළිගා නැති හිතක,
සරළ කමට නුඹෙ හිත ඇදිලා ඒවි...
නුඹ නිහැඬියාවට ආස යැයි
තනිවෙන්න හිතුවත්...
අවසන ඒ නිහැඬියාවම,
නුඹෙ කනස්සල්ලට හේතු වේවි...
මේ සරළ කම නුඹට දරන්න බැරි වේවි...
යලි මං තනිවේවි...
මට අවැසි හිත,
මට මුණගැසෙන තුරු...
යලි මග බලාවි...
ලොකු හීන නැති හින්ඳම...
දකින බිඳෙන හීන වල,
වේදනාව අඩු වේවි...
.
...::: විලෝචනා :::...

බාඳුරා


කඩුපුල සදිසි පින් බර රූබර............ මුහුණ
දුටු සැන කිසිවෙකුට නරකක්... නොඅඟවන
නෙත් වසඟෙන් ළඟට ලං වුව... විස පිරුණ
නුඹ විය බාඳුරා ගිල ගත් මගේ............. පණ

Wednesday, August 3, 2016

කෝ එයා

උඹ මරලා
උඹම අහනවා
කෝ එයා කියලා...

Monday, July 25, 2016

මුසා බස්

 
නිර්දය ලෙස මුසා බස් සහසක් දොඩා 
එක වරක් ළඟට ගන්න දැරූ වෑයමෙන් 
අඩක් කැප කර ඇත්ත කීවා නම්... 
සදහටම උඹෙනෙ මං... 

Sunday, July 24, 2016

මේක නම් අමු ගොං හැලියක්...

අයියගෙ මගුල් දවසෙ Make-Up කරපු අක්කා මට එහෙම කිව්වේ මම කවදාවත් Saloon එකකට ගිහින් නෑ කිව්ව එකට වගේම මට Eyeline එක අඳිනකල් හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුරුදු නැති නිසා... ඇත්ත මූණ දැක්කම මට මාවම එපා උන කාලයක් තිබුනා...අනික් ඔක්කොම පවුලෙ අය සුදු වෙලා මං කලු උනේ...අම්මි කිව්වා වගේ මං පාරෙන් ඇහිඳපු ළමයෙක්ද...  අම්මෝ මං අඬලා ඇතිද කොච්චර...  එන්න එන්න ලොකු වෙද්දි මගෙ මූණ අම්මිගෙ වගේ නොවුනා නම් ... මම ඒකත් විෂ්වාස කරයි ...ෂොප් වලට ගිහින් නිය ආලේපන... තොල් ආලේපන... ක්‍රීම් අනම් මනං කොච්චර ගන්න ඇතිද... ඔක්කොම ෂොප් යන එක නතර කලා Photoshop එක්ක... 
.
කොණ්ඩෙ කඩන් ලස්සනයි කියල හිතාගෙන පාරට බැස්සම... ටික දුරක් යද්දි රස්නෙයි... කොණ්ඩේ විලාසිතා එතනින් ඉවරයි... බඩගිනි වෙලා මොනවා හරි කාපු ගමන් Lipstick එකෙන් පලක් නෑ... කකුල දූවිලි වදිනවා...Cutex පරිස්සම් කරන්න ගියාම අත් පය වලට වෙනම ආරක්ෂාවක් ඕනෙ...කවදාවත් ගලවපු නැති ඇහි බැම දැන් ගලවන්න බයයි ... අනික් කෙල්ලෝ නළල රතු කරන් එනවා දැක්කම... පාරෙ යද්දි Photoshop නෑනෙ... ඔව්... මම නම් අමු ගොං හැලියක් තමයි... ඉතිං... තවමත් උඹ මට ආදරෙයිද?