මගෙ අම්මි සහ අම්මා කියන දෙන්නටම ස්මාර්ට් ජංගම දුරකථන තියෙනවා. අම්මිට ලැප්ටොප් එකත් ඩෙස්ක්ටොප් එකත් ජංගම දුරකථනත් සියලුම දේ තියෙනවා. අම්මි බොහොම සාර්ථක විදියට උගන්නපු ගුරුවරියක්. ඇය වයස කීය වුණත් ඉගෙන ගන්න එක නතර කලේ නෑ. පරිගණක පාඨමාලා පවා හැදෑරුවා.
ඉස්කෝලේ ළමයින්ට උගන්වන්න අවශ්ය කරුණු අන්තර්ජාලයෙන් හොයලා ඇය විසින්ම ලස්සනට presentation හදාගෙන ගිහින් ළමයින්ට සිත්ගන්නා සුළු විදිහට ඉගැන්නුවා. ඇයගෙ අතින්ම සිංහලෙන් ප්රශ්න පත්තර type කරලා මට කතා කලේ එහෙ මෙහෙ වුණ page settings ටිකක් හදාගන්න විතරයි. නංගිට ඉගෙන ගන්න අවශ්ය කරන Youtube Videos අම්මි විසින්ම download කරලා වෙනම store කරලා තියෙනවා. ඇත්තටම අම්මි තාක්ෂණික දැනුම අතින් සතුටු දායක තැනක ඉන්නෙ 

1999 ටත් කලින් ගෙදරට type writer එක ගෙනාවෙ ඇය. 1999 දි ගෙදරට පරිගණකය ගේනකොට Scanner, Colour Printer, UPS, Mic, හැමදේම ගෙනාවෙ අම්මිම තෝරලා. අදටත් එහෙන් මෙහෙන් අහුවෙන අලුත් ගැජට් කෑලි ඇය අරන් එනවා. ඇය අලුතෙන් යමක් ඉගෙන ගන්න බොහොම උනන්දුයි.
විශ්රාම ගිහිං අවුරුදු 3ක් දැන්. ඒ කාළය තුළ කොච්චර නිදහසේ ඉන්න කිව්වත් ඇය අලුත් දේවල් ඉගෙන ගන්න එක නැවැත්තුවෙ නෑ. කොන්ක්රීට් Interlock blocks හදන්න ඉගෙන ගත්තා. අච්චු කීපයක් ගෙනත්, එන්න ඕන පදම, පාට කරන හැටි වේලන හැටි ඇය හොඳට ඉගෙන ගත්තා. විශාල මිදුලටම අල්ලන්න ප්රමාණවත් blocks ඇය හදලා ගොඩ ගහලා තිබුණා.
ඇය විසින්ම ගොවිතැන් කරන්න යොමු වුණා. වී ගෝනි 40, 50 ඇගේ අස් වැන්න. ඒ අතරෙ බඩ ඉරිඟු, උඳු, කුරක්කන් මාරුවෙන් මාරුවට ගෙදර ගියාම අපිට මොනවා හරි පටවලා එවන්න තමා දඟලන්නෙ.
ඉල්ලන්නෙ මොනවද. ඒක දෙනවා. බෑ කියන්නෙ නෑ. බැරි වෙලාවත්... ඇයට ලැබුණ දෙයක් මං ලස්සනයි කිව්වොත්, "ඉතිං ඕක ඔයා ගන්න" එහෙම තමා අම්මි කියන්නෙ.

පිත්තල පහනෙ රත්තරං බඩුවෙ ඇඳේ පුටුවේ ඉඳන් අපි 4 දෙනාට අවශ්ය සියල්ලම අම්මියි අප්පච්චියි ලෑස්ති කලේ අපිට වැඩිය නොතේරෙන වයසෙ ඉඳන්ම. ඒ වගේම අපි 4 දෙනාටම හොඳට ඉගැන්නුවා. අප්පච්චි මේ ලෝකෙන් සමු ගත්තට පස්සෙ අම්මි තවත් ඇඟට හයිය අරන් වැඩ කලා. හැම දේම අතෑරලා හිටියෙ නෑ.
ගෙදර වැඩ කරන අයට අම්මිගෙ අතින්ම කෑම බීම හදලා උඩට පහලට දවස තිස්සෙ දුවනවා. මිනිස්සුන්ට කන්න දෙන එකත් පිනක්නෙ. ඒ මිනිස්සු ඒවා කාලා හොඳට හිතේ සතුටෙන් හයිය ඇතිව වැඩ කරනවා. අහල පාල පාර හදන අයටත් තේ ටික එක්ක රොටියක් හරි හදලා ගිහිං දෙන ගමන් ඇය ඔය කතා අපිට කියන්නෙ. අම්මි express කෝච්චියක් වගේ. විනාඩ් 5න් ඔසරිය ඇඳලා හැඩවෙන්න අම්මිට පුලුවන්. පැය භාගෙන් බත් මාලු ටික උයලා ඉවර කරන්න පුලුවන්.
ඇය කඩිසරයි, සමාජශීලියි, තාක්ෂණය එක්ක ඉස්සරහට යනවා, අත දිග ඇරලා තියෙන දේවල් දන් දෙනවා. Facebook ඉන්නවා, ඇගේ උපන් දිනය ඇයට මතකයි. කවදාවත් ඉල්ලලා නැති වුණත් අපි birthday surprise අම්මිට දීලා තියෙනවා. ඒත්
අපෙ අම්මිත් අහිංසකයි


.
අපෙ අම්මා... (Husband ගෙ අම්මා)
Smart Phone එකක් තියෙනවා, Whatsapp භාවිතා කරනවා. වටින දේවල් whatsapp එකන් අපි හුවමාරු කරගන්නවා. ඇය Youtube එකෙන් බණ අහනවා. මගෙ Husband ඉපදෙන්න කලින් ඇයත් විධායක ශ්රේණියේ රැකියාවක් කල කෙනෙක්. ඇගේ පියාත් ඉංජිනේරුවෙක් නිසා ඇයට ගණන් මිණුම් වැඩ යස අගේට පුලුවන්. අදටත් ගෙදර මොන බිම් අඟලත් වෙනස් කරද්දි ඒවගෙ ගණන් මිණුම් සට සට ගාලා ඇය estimate කරලා කියනවා. අමුතුවෙන් කිව යුතු නෑ ඇයත් බොහොම කඩිසර දක්ෂ බුද්ධිමත් කාන්තාවක්. ගෙදරට අලුතෙන් කෑල්ලක් එකතු කරන්න ඇය විසින්ම ලස්සන plan එකක් මැනලා ඇඳලා අපිට විස්තර කලා.
උපන්දිනයට නිර්මාංශ නිසා eggless cake එකක් අපිම හදලා තෑගි දීලා පුංචි surprise එකක් දුන්නා. එපා වියදම් කරන්න කියලා කිව්වත්, තමන්ගෙ දරුවො ටොෆියක් ගෙනත් දුන්නත් අම්මලාගෙ මූණෙ මල් පිපෙනවා.
මහනුවර මම හිටිය නාගරික පරිසරය වගේ නෙවේ. දැන් ඉන්නෙ ටිකක් නගරයෙන් බැහැරව විශාල වත්තක් මැද පිහිටි නිස්කලංක ගෙදරක. තාක්ෂණය එක්ක අලුත් දේවල් ගැන දැනුම ගත්තට අම්මා සහ අප්පච්චි බොහොම සැහැල්ලු ගති පැවතුම් ඇති සරළ ජීවිත ගෙවන අය.
මනුස්සයෙක් අඳින පළඳින භාවිතා කරන දේවල් වලින් හෝ ඒ මනුස්සයට තියෙන දැනුමෙන් චරිත ලක්ශණයක් හරියටම කියන්න අමාරුයි කියලා මට මේ post එක දැක්කම හිතුනා.
මේ post එකට වඩා සම්පූර්ණ අපෙ අම්මලා දෙන්නා වෙනස් වුණත්... එයාලත් ඇත්තටම අහිංසකයි.
