
වසර සතරක ඉහත මතකය,
අද මගේ සවනත මුදා හැර,
තරුවකින් මා පැතූ නුඹ කියු,
අසිරිමත් එක කතාවක්...
.
දමා යන්නට එපා කිය කිය,
කඳුලු මුතු පිනි දිය මුදා හැර,
හොර හොරෙන් සඳ සිනාසී කියු,
එක් පසක පෙම් කතාවක්...
.
පහන් සිතිවිලි ගෙනෙන ස්නේහය,
සහන් නුඹ සිත හැඳිනු එ අයුර,
අනිම්මිස නෙත් මා කෙරේ තියු,
මම නොදත් නුඹෙ කතාවක්...
.
හිමිව අහිමිවු නුඹේ කරුමය,
නුඹෙම වේ දැයි පෙරුම් පුර පුර,
පුංචි පිටු වල මට හොරා ලියු,
දුක වෙලා ගත් කතාවක්...
.
විටෙක කඳුළුය විටෙක රුහිරය,
නමුදු බෝ තැන් සිනා සිරිසර,
නුඹේ ලෝකය මගෙ ළඟින් තියු,
අහිංසක රුදු කතාවක්...
.
උකුසු කඳුලට මුලා වී ගිය,
ඉරණමේ සරදමින් බිය කර,
ඉවුරු දෑලක පරතරය තියු,
කුරිරු කම් පිරි කතාවක්...
.
පිරූ පෙරුමෙන් ලද සෙනේහය,
ළඟ රඳන පින් දියෙන් බොඳ කර,
යලිඳු පෙර පින් මහිමයෙන් ලියු,
යළි නොවෙන්වන කතාවක්...