Pages

Wednesday, April 26, 2017

පිස්සෙක්...


රස්තියාදුවෙ යද්දි,
වැටී කයිවාරුවක,
අරක මේකයි කියා,
ඕපයක් කියවන්න,
දන්න ටික දොඩවන්න,
දොඩන දේ දැන ගන්න,
කතා කර කර ඉන්න,
මට ඕනෙ පිස්සෙක්... 😍
.
හිතුණොතින් රට වටේ,
සිත් ලෙසින් ඇවිදින්න,
ඇල දොලෙහි මහ සයුරෙ,
බැරි ගාතෙ පීනන්න,
වැටි වැටී හති දදා,
කඳු මුඳුන් අල්ලන්න,
මට ඕනෙ මීදුමෙත්,
ළඟ ඉන්න පිස්සෙක්... 😝
.
කැමරාව කරකමින්,
පින්තූර අරගන්න,
හැරී දකුණට වමට,
නනයුරින් සිනාසෙන,
කොතෙක් වද දෙන නමුත්,
මග නොහැර සවන් දෙන,
කඩවසම් පුළුලුරේ,
හැඩ මවන පිස්සෙක්... 
.
හ්ම් හඬින් මියුරු ගී,
නද මුවින් මුමුණද්දි,
අනාරාධිතව අත් වැල්,
හොරෙන් අල්ලද්දි,
තාල සංගීත නැති,
ඇරඹුමක් නිමක් නැති,
බජව්වට සහය දෙන,
සිංදු කන පිස්සෙක්.... 😂
.
යන කොහෙත් නතර වී,
කෑම බීම ම හොයන,
පසු නොබැස එවෙනුවෙන්,
පෙරට මා හා ඇදෙන,
දකින හැම දේ හදන,
ඕන මගුලක් ගිලින,
මට ඕන මං වගෙම,
බඩ ජාරි පිස්සෙක්... 
.
මං නෙලන පමාවට,
අත දිගැර මට නෙලන,
මං බනින පමාවට,
පිස්සෙක් වගේ බණින,
ඒත් මං දෙනවාට,
වැඩිය ආදරේ දෙන,
චණ්ඩි මැර ගති පිරුණු,
අහිංසක පිස්සෙක්... 
.
ලෙඩට සතුටට දුකට,
නොපමාව හොයං එන,
මං විරූපී උණත්,
සුරඟනක් සේ දකින,
හුරතලෙන් මං රකින,
හුරතල් ව සිනහ වෙන,
කුමක් වුව සදහටම
ළඟ ඉන්න පිස්සෙක්... 
.
...:::ලෝචි:::...

දැන කියන් කුමක් වුව, මට වහන් වී නොකර...


කරන දෑ සිතන දෑ,
කොතේකුත් දරුණු වුව...
අතරමග හතර අත,
දුවන හිත නතර කර...
මිනියකුත් මරන්නට,
නුඹ සමඟ රැඳෙන බව...
දැන කියන් කුමක් වුව,
මට වහන් වී නොකර...