
.
රැයේ අඳුරත් රෑහි හැඬුමත්,
සිසිලසත් මුරයට දමා...
තරු රැසක් දැවි දැවී යද්දී ,
කරන් බෝ නුබ සිරි නිමා...
ලොවම සැනකෙලි කලෙව් මත්තෙන්,
ගිම් නිවන්නට දෝ අමා...
චන්ද්‍රයා සැඟවුණා සදහට,
ලොවක් අඳුරට ඇද දමා...
.
නෙතට කඳුලක් නොආ දිනයක්,
නොවේ නුඹ ගිය දා පටන්...
පීර පීරා නුඹම සොයනෙම්,
නුඹේ මතකය ගුලි කරන්...
ලොවම දිනු දින තනා දෙන්නට,
සිතා උන්නත් සුව යහන්...
මගේ කුටියෙම මගේ යහනෙම,
ඇයිද වැසුවේ නෙතු පියන්...
.
සුදු කකුල් අත් පා බෙහෙත් ගා,
පිරි මදින්නට පෙර ලෙසින්...
වැඳලා වැඳලා මට කියා,
රෙදි සෝදගන්නැතිදෝ ඉතින්...
රැවුල් කැපුමේ ඉතිරි තැන්,
ඇද බලන්නට යලි මේ නෙතින්...
පිනක් නෑ මට ආයෙ,
කිරිදුව යැයි අසන්නට නුඹෙ හඬින්...
.
ඇඳුම් ගලපා හොඳින් මැදලා,
පිළිවෙලට උඩ එල්ලලා...
හොඳින් නා කර ආ සැනින්,
නුඹෙ පිටේ පව්ඩර් ගල්වලා...
කිරි දුවට පාඩුවේ ඉන්නට,
නොදී සැමවිට ගෙන්වලා...
වැඩ කියන්නට කෙනෙක් නැතියෙන්,
නුවර යන්නත් මැලි වෙලා...
.
ගමන් යද්දී පුතේ මට,
අර අරක ගෙන එන්නැයි කියා...
මෙන්න මේ වැනි කමිසයක්,
හොඳැයින් බලා ගන්නැයි කියා...
ගෙනැත් දුන් දේ කොයි වෙලෙත්,
පුන පුනා සෙනෙහෙන් ඇඳ තියා...
අනේ කොතෙකුත් සතුටු වෙන්නැති,
දුන් දෙයක් ඇද නොම කියා...
.
අද වගේ මට මතක දවසක්,
නුඹෙ උපන්දිනයක් කියා...
නුඹව එක්කන් තෑගි ගන්නට,
නගරයට හනිකට ගියා...
ආස ආසා දේම පෙන්නූ,
නුඹට ඒ සැම ගනු කියා...
උජාරුවකින් ආවෙ කිරිදුව,
නුඹව සතුටින් තියු නියා...
.
විහිලු කර කර මූණ ඇද කර,
හිනස්සන අප්පච්චියා...
පිරිත් කිය කිය පපුව මත්තේ,
නිදි කෙරූ අප්පච්චියා...
ඇතිනේ දැන් මට කඳුළු,
තව ඉවසන්න බෑ අප්පච්චියා...
හනික ඇවිදින් අරන් යනතුරු,
ඉන්නේ මං අප්පච්චියා...
.