Pages

Tuesday, August 18, 2020

💛 ජීවිතය කියා දෙන පරිසරය...

කඩුපුල් මල් වට්ටි පුරවලා එදා පූජා කරද්දි, හීනෙකින් වත් තේරුණේ නෑ ඒකේ දුර්ලභ බව... ඒත් අද දැක දැක හිත පිනා යනවා... ආය ඒ වගේ දවසක් එයිද හිතාගන්න අමාරුයි... 😍 . වත්ත කොනේ විහාර ගේ ළඟ සල් ගහේ යට ඉඳන් උඩටම තැන තැන සල් මල් ඒ මේ අත බරටම පිපිලා තියෙද්දි ඔහු ලවා මල් තුන හතරක් ගෙන්වාගෙන උදෑසන බුදුරජාණන්වහන්සේට පූජා කලා. ඒත් අද ආසාවට වත් සල් මලක් නැති දවසෙ... හරි හරියට එහි අගය දැනෙනවා... හැබැයි තිබුණ කාලේ පූජා කලා කියලා හිත ගොඩක් සතුටු වෙනවා 😍 . පිච්ච පඳුරු වැහි වැහැලා සුදට සුදේ ඒ දින වල මල් පිපිලා තිබුණා...මම හැමදාම උදේ හවස ඒ මල් බුදුරජාණන්වහන්සේට පූජා කලා... බොහොම සැදැහැ සිතින්... ඒත් අද එක මලකුත් නෑ... අද ඒ මල් පිපුණ හැටි මතක් වෙද්දිත් හීනයක් වගේ 😍 තිබුණ දවස් වල හිතේ හැටියට මල් පූජා කලා... ඒ වේලුන මල් වලින් හැදුව පිච්ච කොට්ටයත්... මාසෙකින් රුවන්අලිසෑයට පූජා කරන්න පුලුවන් වෙන්නේ... ඒ නිසයි...😍 . ඇදීරිනීතිය කාලෙ ගොඩක් කඩ එහෙම වහලා තිබුණ නිසා සත්තු වැඩි වැඩියෙන් කෑම හොයන් ආවා. මමත් ඔහුත් අනන්ත ඒ අයට කෑමයි නාන්න වතුර හට්ටියි තියලා ඒ අය කන, බොන නාන වාරයක් ගානේ, අලුත් අලුත් කුරුල්ලො එන වාරයක් ගානෙ, එකා එකා ලේන්නු වැඩි වුණ ගානෙ සතුටු වුණා. තව තව කෑම දැම්මා... අදටත් ලේන්නු හතක් අටක් සහ විවිධ කුරුල්ලො එනවා. ඒත් අර තරම් විවිධත්වයක් ප්‍රමාණයක් නෑ. එහෙම කල්පනා කරද්දි ඒ කාලෙ කොයි තරම් දුලභද හිතෙනවා... 😍 ලස්සන නිලට නිලේ ගොයම් පැහිලා තිබ්බ දවස් වල ගෙදර වත්ත පාරදීසයක් වගේ පෙණුනා. ඒ කෙත් වතු සිසාරා ආව හුළඟ මුසු වුණ හැම හිරු කිරණක්ම අද මට ඒ සුන්දර උදෑසනේ අගය කියාදෙනවා... ගොයම් කැපුවට පස්සෙ අද ඒ සුන්දර බව තරමක් වියැකිලා... ඒත් නිදහසේ මේ උණුසුමත් දරාගන්නවා, ගස් වැල් වල පිහිටෙන්...😍 . උතුරුන්න වැහි වැටුණ දවස් වල කඩදාසි බෝට්ටු හදලා ඒ පස්සෙ දුව දුව ගස් උඩ නැග නැග අපි දෙන්නා දඟලපු මේ යායම ආයෙත් වේලීගෙන එනවා... ⛵මේ වෙනස තමා මට ඒ අතීතයේ අගය කියලා දෙන්නේ... 😍 . මහනුවර ඉන්න කල් ඔහුත් මමත් පුලුවන් හැම මොහොතෙම ඇවිද්දා, කඳු දිය ඇලි සිසාරා 😍 ඒ දවස් ගැන මහනුවර තියෙන පූජනීය සුන්දර මතකය පෙරදැරිව හිතද්දි හරිම මිහිරියි... 💛 එහෙ තිබුණෙ අමුතුම පූජනීයත්වයක්. සුන්දරත්වයක්... අදටත් ඒ දවස් නැතුව නොවේ... අපි කඳු දිය ඇලි පුදබිම් හොය හොය ඇවිදිනවා... ඒත් දැන් මහනුවර පැයක් දුරස් වෙලා 💛 ජීවිතය ලං වෙලා... 😍 . සමහර වකවානු ජීවිතයේ රැඳෙන්නෙ බොහොම කෙටි කාලයයි... සතුටු වෙන්න විඳින්න, නිදහසේ ඉන්න හැමදාම බෑ.. හිත ගත වගේම භාහිර පරිසරය, දේශගුණය, එකතු වෙන අය, ඒ ඒ කාල වල වගකීම් සේරම බලපානවා. ඉතිං... ලැබුණ මොහොතෙන් උපරිමයෙන් ප්‍රයෝජන ගත්ත නිසා... ඒවා මිහිරි මතකයන් මිස කවදාවත් පසුතැවීම් වුණේ නෑ... කාලය බොහොම සීමිතයි... අවස්ථාවන් හරිම දුර්ලභයි... ඒවා ලැබෙද්දි ඒවා විඳින්නත් අපිට පින වාසනාව තියෙන්න ඕන... 😍 . මේ ජීවිතයේ... පින් කරන්නත්... හැමදාම බෑ... හැමෝටමත් බෑ... ඒකත්... බොහොම සීමිතයි 😊 ඒ අවස්ථාව පවතින්නෙත් අන්න ඒ වගේ "#ක්ෂණයක" පමණයි 😍 . © විලෝචනා අබේකෝන්...