Pages

Wednesday, February 17, 2016

සුරඟනුන් ...


නොදුටු නොහැඳිනු හිතවතුන් ...
තනිව ළබැඳුණු රස වතුන් ...
හාන්කවිසිය මගැන නොදැනම ...
දුරින් පෙම් බැඳි පෙම්වතුන් ...
.
පෙමට හැඳිනුම් ලියනවුන් ...
හැඟුම් කවිකොට ගයනවුන් ...
කවිය මගකදි එළිසමය බිඳ ...
අතීතය සිහිකරනවුන් ...
.
අලුත් මුහුණින් ඇදෙනවුන් ...
අලුත් ආරෙට රඟන වුන් ...
අලුත් අරුතින් සිහින පෙන්වා ...
පරණ පාරෙම ඇදෙනවුන් ...
.
කොමළ වත තොල් රත්වනුන් ...
බොළඳකම් පෑ රන්වනුන් ...
තැලී පෑරී ගියෙන් මෙහි නෑ ...
නුඹේ වන්නට සුරඟනුන් ...
.
From the Hell 
෴ විලෝචනා ෴

1998 අද වගේ දවසක ...

 1998 අද වගේ දවසක ... මේ වගේ වෙලාවක ... එක පාරම අම්මි අඬාගෙන දුවගෙන ආවා , අක්කිලා දෙන්නා... අයියලා හරිම කලබලෙන්... මට තේරුණේ නෑ ඇයි කියලා ... නංගි ඉපදිලා හරියටම දවස් හයයි ... අප්පච්චිට මොකක් හරි අසනීපයක් ... මට තේරුණේ එච්චරයි...
.
යන්තම් වගේ මතකෙට එන්නේ ලස්සන සුදු අයියලා දෙන්නෙක් ... එතකොට එයාලා දෙන්නටම 18 ක් 20 ඇති වයස ... මට මතකයි අපේ ගෙට පිටිපස්සේ බැම්මයි ඇලයි බඳින්න එයාලා අප්පච්චිට උදව් කලා ... අපි කවුරුත් එයාලට ආදරේ කලා ...
.
එදා ගෙදර අයට දැණුන හැඟීම අද මට දැණුනා නම් ... මට දරා ගන්න බැරිවෙයි ... පහුවෙනිදා පාන්දරම අම්මි නංගිත් එක්කන් ත්රීවීල් එකකින් අනුරාධපුරේ ගියා ...
දවස් දෙක තුනකින් කපිල අයියා ආවා නුවර...අයියලා දෙන්නවයි මාවයි එක්කන් අනුරාධපුර යන්න ... මට මතකයි ! කොටි අපිට වෙඩි තියයිද? අපිට බෝම්බයක් ගහයිද? මම කපිල අයියාගෙන් ඇහුවා ... මොකද කසු කුසුව අස්සෙ මට බෝම්බ කතාවක් ඇහුණ නිසා ...
.
එදා අප්පච්චි අලුත්ම වාහනේකින් අලුතින්ම වැඩ බාර ගන්න කියලා තමයි මං හිතන්නෙ මන්නාරමට ගියේ... යන අතර මග නිවාඩු ගිහින් ආව තවත් හමුදාවේ අයියලා ටිකක් බස් එකේ නගින්නේ නැතුව අප්පච්චිගේ ජීප් එකට නැගලා තිබුණා කෑම්ප් එකට යන්න.අප්පච්චිත් බඩියෝ දෙන්නත් ඩ්‍රයිවරුත් එක්ක ඔක්කෝම 11ක් විතර ඉඳලා තියෙනවා ... ඩ්‍රයිවර්ගෙ වයිෆ්ට බබා හම්බවුණා කියලා කෝල් එකක් ඇවිත් ...
.
මේ සිදුවීම් සියල්ල ගැන හාංකවිසියක් වත් නොදත් තර්‍ස්ත පිරිස ඔවුන්ගේ ඉලක්කය වූ හමුදා බස් රථයේ ප්‍රමාදයෙන් පසු නොබැස අලුත වැඩ බාරගත් නිලධාරියාට එම සැලසුම ක්‍රියාත්මක කරන්නට විය ... එදා සෙට්ටිකුලමෙදි ක්ලේමෝ බෝම්බයකට ගොදුරු වුණු 11 දෙනාගෙන් අප්පච්චිත් තව එක් අයෙකුත් හැර අන් කිසිවෙක්ගේ සිරුරක් කියා දෙයක් වත් ඉතිරි නොවිණ ... රියදුරුට ඔහුගේ සිඟිත්තාගේ රුවක් වත් දකින්නට නොලැබෙන්නට ඇත.රංජීත් අය්යත් ප්‍රේමදාස අයියත් "බුදු සර් අපිව බේර ගන්න " යැයි නගූ විලාපය අදටත් අප්පච්චිගේ මනස තුළ දෝංකාර දෙනු ඇත... අදටත් ඔහු කඳුලු සලන්නේ ඒ නිසාය... අප්පච්චිගේ පිටේ පවුඩර් ගාන හැම මොහොතකම තවමත් ඒ තුවාල මගේ අතට දැනී ඒ මතකයන් අලුත් කරනු ඇත ... තවමත් සිරුර තුළ යකඩ සිරවී ඇත්තේ ඉවත් කිරීම අනතුරුදායක නිසාවෙනි.
.
අපි ඇඬුවා ... එක පාරක් නෙවෙයි කීප වතාවක්ම ඔහු බෝම්බ වලට හසුවුණා... ගෙදර ආපු අය දුසිම් ගණනින් ලෝකෙන් යන්න ගියා ... ඒත් හැමදාටම ඒ හිනාව අපේ හිත් වල ඉතිරි කරලා...
.
රත්තරන් රණවිරු ඔබ සැමට නිවන් සුව ලැබේවා !