


මල් වර සාදේ අනංගයා නුඹ,
මං පිළිකන්නේ ඉඳුල් පිඟන් ළඟ,
යන එන ඈයන් කවුරුත් නොහැඳිනු,
නුඹේ පෙම්බරී මං...

.
මාමලා නැන්දලා නෑ සියො ඔක්කොම,
එහෙට මෙහෙට කඩිමුඩියෙ දුවන විට,
මස්සිනා කන ළඟ තිව්වෙ කේලමක්,
එන පොට හරි නෑ බං...

.
අක්කෙ අන්න අර ළමිස්සියෝ ටික,
කාලා හමාරයි කාරි අහවරයි,
ඒත් අයියා එහෙ මෙහෙ යන වාරෙට,
බැල්ම දානවනෙ උන්...

.
දැම්ම විපරමක් පුවත හරි වගයි,
කෙල්ලො කුරුට්ටියො මුගෙන් ඇස් නොගයි,
උකුලු මුකුලු මල් හිනාව දැක්කම,
ඉරිසියා හිතුනනෙ බං...

.
නිල් පැහැ කමිසෙයි කලු පැහැ සරමයි,
උඹෙ සුදු මුහුණයි කදිමෙට ගැලපෙයි,
ඉතින් පුදුම නෑ ඔහේ බැලුවදෙන්,
අනේ තරහ නෑ මං...

.
උන් නම් දාහක් බැලුවත් කම් නෑ,
නුඹ බැලුවොත් නම් හිත වාවන්නෑ,
හොරෙන් හොරෙන් නුඹ බලලා අහුවුණොත්,
නොකියම යනවා මං...
