Pages

Sunday, November 20, 2022

🌹සමහරුන්ට පළවෙනිම පාරට මලක් ලැබෙන්නෙ එයාගෙ මලගෙදරදි.... ද?

 

අනේ ගොඩක් දුරට ඒක එහෙම වෙන්න පුලුවන්... මට ඒක වැඩියෙන්ම හිතුණ අවස්ථාව මගෙ අප්පච්චිගෙ Funeral එක වෙලාව ලැබුණ මල් ගොඩ දැකලා.
මම එදා කවි පෙළක් ලිව්වා. ඒක ආරම්භ වුණේම...
"නුඹෙ හද ගැහෙන විට මෙච්චර මල් සුවඳ,
නුඹ වට තිබුණි නම් කෙතරම් අගනේද"
කියලා.
මරණෙට වත් මලක් නොලැබෙන අයත් ඇති. මගෙ අප්පච්චිට නම් ජීවත් වෙද්දිත් ඕන තරම් මල් අනම් මනං තෑගි ලැබුණා එයා ගොඩක් දැහැමි ජීවිතයක් ගතකල ගොඩක් පිරිස එක්ක කාලය ගත කල සමාජශීලි කෙනෙක් නිසා.
ජීවිතේ අම්මට අප්පච්චිට සහෝදර සහෝදරියන්ට, ජීවන සහකරුවට සහකාරියට තමන්ගේ සමීපතමයන්ට මලක් එක දවසක් හරි දීලා බලන්න විශේෂයෙන්ම අම්මට අක්කට නංගිට යෙහෙලියට බිරිඳට 😍🤭 හැබැයි පිරිමි අය මල් වලට ආස නෑ කියන්න බෑ. ඉතිං කෙනෙක් ජීවතුන් අතර ඉන්න කාලෙදි එයාව අගය කරන්න අවශ්ය දේ කලා නම් ඔබට ඒ සතුට සජීවීව ඔවුන් එක්ක බෙදා ගන්න පුලුවන්.
අපෙ අම්මි ගුරු වෘත්තියෙන් විශ්රාම යන දවසෙ අපෙ ලොකු අයියා අපෙ අම්මිට ලස්සන මල් කළඹක් එක්ක කේක් එකක් ඉස්කෝලෙට යවලා තිබුණා. මොකද එදා ඇයගෙ උපන්දිනේත් නිසා. මං මේ ලෝකෙ දැක්ක සුන්දරම තෑග්ගක් තමා ඒක. 🌹🌹🌹 අම්මි එදා තරම් උපන්දිනේකදි සතුටු වුණා මං කවදාකවත් දැකලා නෑ... 🥰
හැම පුතෙක්ම ජීවිතේ එක පාරක් හරි අම්මට එක මලක් හරි දෙනවා නම් ඒක හරිම සුන්දරයි කියලා මම විශ්වාස කරනවා. මොකද බිරිඳට පෙම්වතියට නම් එක මලක් හරි දෙන්න වැඩි දෙනෙක් අමතක නොකරන නිසා.
ඒ මලේ වටිනාකම අපිට මතක් වෙන්නෙ ඒ කෙනා අපි අතර නැති කාලෙදි. අපිට හිතින් සතුටු වෙන්න පුලුවන් අපි ජීවත් වන කාලෙ අපේ සමීපතමයන්ගෙ මූණට හිනාවක් දුන්නා කියලා 🥰🥰😍😍
~ විලෝචනා ~
May be an image of flower and text


ඔයා වෙනුවෙන් ඔයා 😊

 මේ... මොනවද බලන්නෙ?

ඔව් ඔයාගෙන් තමා ඇහුවෙ 🤭
අද කෑවද? බිව්වද?
මේ මොහොතෙත් හිතෙන්නෙ වෙන කවුරු හරි ගැන නේද? එක්කො ඔහේ මොනා හරි දෙයක් ඔලුවෙ කැරකෙනවා. ඔයා හිතන්නෙ මොනවා වුණත් ටිකකට ඒක අමතක කරන්නකො.
අන්තිමට ඔයා ඔයා ගැන හිතුවෙ කවද්ද?
කණ්ණාඩිය ඉස්සරහට ගිහිං ඔයාගෙ මූණ ටිකක් බැලුවද?
මූණ අත පය පිරිසිදු කරගෙන සුවඳ ටිකක් ඉහ ගත්තෙ නැද්ද?
අද ඇඟට ඕන පමණට වතුර බිව්වද?
ව්යායාමයක් කරන්න වෙලාවක් නැත්තං පොඩ්ඩක් ඇවිදලා ඇඟ හොර වෙන්න නොදී තියාගන්න හිතුනෙ නැද්ද?
කන්නන් වාලෙ ඔහේ කෑවට, බීවට දවස ගෙව්වට,පොඩ්ඩක් උවමනාවෙන් තමන් වෙනුවෙන් වෙලාව වෙන් කලාද?
පොඩ්ඩක් ඇස් වහගෙන හුස්ම ටිකක් අරන් අද දවස ජීවත් වුණ එක ගැන සතුටු වෙන්න.
ආස සින්දුවක් අහන්න...
ළඟ පාත තියෙන ලස්සන එළිමහනකට ගිහිං තනියම හරි හීතල හුළඟ විඳලා එන්න...
පොඩි කඩල පැකට් එකක් හරි කන ගමන් සතුටින් මේ මොහොත විඳින්න...
ඔයා තමා ඔයා ගැන හිතන්න ඕන ඉතිං...
ඔයා තරම් ඔයා වෙනුවෙන් කැප වෙන්න පුලුවන් වෙන කවුරුත් නෑ...
දිව්වා ඇති 😊
චුට්ටක් ඔයා ගැන හිතන්න... ඔයාගෙ මනස සන්සුන් කරගන්න බලන්න. දවසෙ එක පැය භාගයක් ඔයාගෙම ලෝකෙකට වෙලාව වෙන් කරන්න. ඒ වෙලාවට කාගෙවත් ප්රශ්න ඔලුවට ගන්න එපා. පොඩ්ඩක් තමන් ගැන සැලකිලිමත් වෙන්න ගත්තම, ඒක පුරුදු නැති කෙනෙක්ට නම් මහා ආත්මාර්ථකාමී බවක් තමන්ගෙන් තමන්ටම දැනෙන්න පුලුවන්... නෑ ඒක එහෙම නෑ. පැය භාගයක් සිහියෙන් තමන් වෙනුවෙන් වෙලාව වෙන් කලා කියලා මොකුත් නැතිවෙන්නෙ නෑ. හැබැයි ඔයාට ගොඩක් දේවල් ලැබෙයි. 🥰
මනසට සැහැල්ලුවක් දැනෙන ඒ පැය භාගෙ අද ඉඳන්ම ඔයා වෙනුවෙන් ඔයා වෙන් කරන්න ඕන... හා ද? 🌼

විසඳුමක් නොපෙනෙන අවුල් ජාලෙ 🌼

🌼 විසඳුමක් නොපෙනෙන අවුල් ජාලෙක ඉන්නවා කියලා දැනෙනවා නම්... පමණට වඩා ඒ ගැන නොහිතා කාලයට ඉඩ දෙන්න...
එදිනෙදාට කල හැකි අත්යවශ්ය දේවල් ටික කරගෙන යන්න. නින්දට පසු නිරුපද්රිතව අවදි වුණ එක ගැනම සතුටු වෙන්න... ඉන් ඔබ්බට ඔබේ අත පය හතර ඇස් කන් හොඳට තියෙන එකේ ඉඳලා තමන්ට දැනටම තියෙන දේවල් මතක් කරලා සතුටු වෙන්න. ජීවත් වෙන්න...
හිත සන්සුන්ව සිහියෙන් තබාගන්න... තේරුණානෙ? සිහියෙන්... හොඳද... 😊 හැමදේම ඔයාට පාලනය කරන්න බෑ... හැබැයි ඔයාට ඔයාව පාලනය කරගන්න පුලුවන්... අන්න ඒකට උත්සහ කරන්න 🌼 සුභ දවසක්.... 🥰

 


රැවටෙන එක වරදක් නොවේද?

 

😐 නෑ.... රැවටෙනවා කියන්නෙ හරියට ඇත්ත දැකලා හොයලා බලලා නෑ කියන දේ... ඒ හැඟීම තියෙන්නෙ මෝහයට යට වෙලා... රැවටෙන තැනම ඊට පස්සෙ ද්වේශය ලෝභය තමා කඳුල දුක අස්සෙ පුපුරන්නෙ. මේ ලෝභ ද්වේශ මෝහ කියන අකුසල් සිතිවිලි තමන් තුළ වැඩෙන්න ඉඩ හරින එකෙන් තමන්ටම හානි වෙනවා. තමන්ට නරකක් කරගන්න එක පවක් නෙවේද? හිත හදාගන්නත් සාධාරණීකරණය කරන්න එපා... ආය රැවටෙනවා 😊
හරි දේවල් තෝරගන්න... හරි පුද්ගලයින් ඇසුරට තෝරගන්න. එතනින් පිරුණ කලයක දිය නොසෙල්වෙන සේ තමන් තැන්පත් වෙනවා... ඒක ලොකු රුකුලක් වෙයි ජීවිතේ නැවත නොරැවටෙන නොවරදින පාර හොයා ගන්න... 😊
~ ලෝචි ~



ඔබේ සැනසීමට ඔබම වටිනාකමක් දෙන්න 😊🌼

 

🌼 ඔබ ඔබේ සැනසීම ගැන හිතනවා නම් සමහර දේවල් සහ පුද්ගලයින්, සමහර මතකයන්, රඳවාගෙන සිටීමට, ප්රතිචාර දැක්වීමට, සම්බන්ධ වීමට, නිවැරදි කිරීමට වගේ අනවශ්ය දේ වෙනුවෙන් ඔබේ කාලය ශ්රමය වැය කිරිම නතර කල යුතුයි...
ඔබ වෙනුවෙන් ඔබේම අවධානය කේන්ද්රගත කරගන්න එවිට ඔබට පහසු වෙයි 😊 ඔබට ඒ සැනසීම අවධානය එක්ක පරිපූර්ණ බවක් දැනේවි... අනවශ්ය දේවල් සහ මතකයන් වලට යන්න දීලා අනවශ්ය බැඳීම් වලින් දුරස් වුණාම ඔබට අනිවාර්යයෙන් සතුට සැනසීම ඉතිරිවනු ඇත.
ඔබේ සැනසීමට ඔබම වටිනාකමක් දෙන්න 😊🌼



🌼 හේතුව

 

🌼🌼🌼
මම යමෙකුට ප්රතිචාර නොදක්වයි නම්,
එයට හේතුවක් ඇත...
මම යමෙකු මුණගැහෙන්න අකමැති නම් එයට හේතුවක් ඇත...
මම යමෙකුගේ ඉල්ලීමක් ප්රතික්ෂේප කලා නම් එයට හේතුවක් ඇත...
මගේ නිදහස සහ සැනසීමට බාධා කරමින්, ගැටලුවක් ඇති කිරීමට සමත් යමක් හෝ යමෙක් වෙද, දුර තියාම ඉන් ඉවත් වීමට මම වග බලාගමි... එය උඩඟුකමට නොව ආත්මාරක්ෂාවටය...
යමෙකුගෙ හිත සනසන්නවත්, බොරුවක් නොකියා, ඍජුවම සත්ය පැවසීමට පටන් ගත් දා සිට... අකමැති බව අපහසු බව තිබියදීත් එය සඟවා හිත යටින් අපහසුවෙන් ජීවත් වනු වෙනුවට සත්ය තත්වය පැවසීමට පටන් ගත් දා සිට...
ජීවත් වීම ඉතා,
.........පහසු විය...
.............සරළ විය...
................සුන්දර විය... 🥰
ඔබත් ඔබේ ජීවිතයේ මෙවන් ඍජු තීරණයක් ගත් දාක මම ඔබව ද කිසි දිනක වැරදිවට විනිශ්චය නොකරමි...🌼




Wednesday, September 14, 2022

Happy 4th Anniversary My Love

You broke my beautiful mug 🙊

You broke my beautiful plate 🙊

So did my appachchi 😁 

But i didn't utter a word...

It's not a big deal

Appachchi left me... 😭

I felt like i lost a half of me... 

Then he sent you to me... 

So you filled it again...


My love...

Loosing you is the hardest thing in this world for me 😭


Be careful when you walk, drive, eat...

Be careful for someone is waiting to see your beautiful smile... 


Even on these bad days... 

Always remember the good things we did together... 

And keep the bad evils away... 

Stay focused... 

Stay healthy...

Stay happy 😘

I want you to be safe my love 😘

Monday, September 5, 2022

#ඔයා" කියන චරිතය

 

කෙනෙක් ජීවිතේ වැඩි කාලයක් ජීවත් වෙන්නෙ තමන් එක්ක.

 තමන්ගෙම හිතින් හිතලා කරන දේවල්, තමන්ගෙ තීරණ, බලාපොරොත්තු, කැමති අකමැති දේවල්, දුක සතුට සැනසීම මේ හැම සිතිවිල්ලක්ම අපිට පාලනය කරන්න පුලුවන්. 

 තමන් හිතන දකින තේරුම් ගන්න ආකාරය අනුව විවිධ දේවල් වලට තමන් විසින්ම දීලා තියෙන වටිනා කම් අනුව ඒ දේවල් නිසා තමන්ට ඇතිවන හැඟීම් වෙනස් වෙනවා.

 සතුට දුක වේදනා සැප සැනසීම කලකිරීම ඊර්ශ්‍යාව වෛරය තණ්හාව කැමැත්ත අකමැත්ත වගේ මොන හැඟීම වුණත් අපි ඒ දේට අපේ මනසේ සිතිවිලි අපේ කාලය අපට නොදැනීම වැය කරනවා.

 භෞතිකව මානසිකව අපි අවට ගොඩනැගිලා තියෙනවා පරිසරයක්. එහි විවිධ වස්තූන් තියෙනවා, පුද්ගලයින් ඉන්නවා. ඒවා නිසා විවිධ සිතිවිලි ඇතිවෙනවා.

 අපිට දැනට තියෙන දේවල් ගැන අසතුටු නම් සමහර විට අපි කොහෙ කොහොම කොයි විදිහට හිටියත් මොනවා ලැබුණත් අසතුටු අතෘප්තිකර හැඟීමකින් ජීවත් වෙන්න පුලුවන්.  මොකද අපි ලද දෙයින් සතුටු වෙන්න නෙවෙයිනෙ හිත පුහුණු කලේ. එහෙම නැත්තං මට ඕන කියලා හිතෙන දේ ලබාගන්න උත්සහ කරනව වෙනුවට අපි කරන්නෙ නෑ නෑ කියලා ඍණාත්මකව හිතන එක. මේ ඔක්කොම අපෙ මනස එහෙ මෙහෙ දුවන නිසයි.

 අපි බාහිරයට වඩා ඒ නිසා අභ්‍යන්තරය, අපේ මනස හොඳින් සකස් කරගන්න ඕන. හොඳට සෙවිලි කල වහලයක් වැස්සට තෙමෙන්නෙ නෑ වගේ හොඳින් පුහුණු කල පාලනය කල හිත අනවශ්‍ය සිතිවිලි හැඟීම් නිසා අනවශ්‍ය පමණින් විඳින්න හෝ විඳවන්න යන්නෙ නෑ.

 අපි වැඩි හරියක් ඉන්නෙ අපෙ හිතේ... ඒ හිත දුක සැප ලාභ අලාභ නින්දා ප්‍රශංසා යස අයස හේතුවෙන් අධිකව වෙනස් නොවෙනවා නම්, මොන දේත් සමව දරාගන්න උත්සහ කරනවා නම් ජීවිතේ පහසු වෙනවා.

 කරුණාව මෛත්‍රීය ත්‍යාගශීලි බව තමන් කෙරෙහිත් අනුන් කෙරෙහිත් ඇති කරන් මේ හැමදේම ඕනවට වඩා බරක් කරගන්නෙ නැතුව සැලසුමක් ඇතිව, පිනක් දහමක් කරන් හිතේ සැනසිල්ලෙ මේ ගිහි දිවිය ගෙවන්න පුලුවන්.

 ඒ හිතට කිසිම දෙයක් නිසා තරහ වෛරය ඊර්ශ්‍යාව ක්‍රෝධය, මාන්නය, ලෝබ කම්, පළිගැනීමේ චේතනා වැඩෙන්න ඉඩ අරින්න එපා. ඒක අමාරුම දෙයක් තමා. ඒත් එහෙම සිතිවිලි එන අවස්ථාවක ඒ බව ඉක්මණින් නුවණින් දැනගෙන ඒ කුණු වලට මනස අපිරිසිදු කරන්න නොදී යහපත් දේවල් වලින්ම මනස පුරවගන්න උත්සහ කරමු.

අපි පිළිවෙලට තියෙන ගෙදරක ඉන්න ආසයි. ඒත් ගෙදර කොච්චර පිළිවෙල වුණත් අපිළිවෙල මනසක් නම් තියෙන්නෙ කොච්චර ලස්සන පරිසරයක ජීවත් වුණත් සැනසීම සතුට අහිමිවෙනවා.

 ඒ නිසා හිතන පතන විදිහෙ අඩුපාඩු අද ඉඳන්ම වෙනස් කරගන්න. වැරදි කල අයට සමාව දෙන්න. වරදක් කලා නම් සමාව ගන්න. අනවශ්‍ය පුරුදු අනවශ්‍ය ඇසුර අතාරින්න. අත්‍යාවශ්‍යම වටිනා යහපත් දේවල් ලං කරගන්න. ආපිට උදව් කරන්න බැරි අයටත් උදව් කරලා සතුටු වෙන්න. පවුලෙ අයට සලකන්න. තමන් ගැනත් හොයලා බලන්න. පිලිවෙලට පිරිසිදුවට ඉන්න. පුංචි පුංචි යහපත් පුරුදු වලින් දවස දවස ගාණෙ දවස් 100ක් යද්දි අඩු පාඩු 100ක් හැදිලා තියෙයි.

 ඔයා වැඩියෙන්ම ජීවිතේ කාලය ගත කරන " #ඔයා" කියන චරිතය ඔයාම යහපත් ලෙස ගොඩ නගාගෙන වෙනස අත්විඳින්න 😍

Tuesday, August 23, 2022

ඔබේ මනස කාන්දමක් 🧲 වගේ 🥰




😍 ඔබ ධනාත්මකව සිතුවොත් ඔබ ඉන් ආකර්ශණය කරගන්නෙ සෙතක්... ඔබ කණගාටු වුණොත් ඔබ ආකර්ෂණය කරගන්නෙ ප්රශ්න...
ජීවිතය කොතරම් දුෂ්කර වුණත් ඔබ යහපත් දේවල් විශ්වාස කරන තැනට මනස පුහුණු කලොත්, දුක, තරහ, ඊර්ශ්යා, ක්රෝධය, කලකිරීම වගේ ඍණාත්මක සිතිවිලි වෙනුවට මෛත්රීය කරුණාව, සතුට, ලද දේ ගැන ඇති තෘප්තිය , තමන්ට පුලුවන් කියන ආත්ම විශ්වාසය, වගේ ධනාත්මක සිතිවිලි වලට මනසේ ඉඩ දුන්නොත් එහි ප්රතිපලයක් ලෙස ඔබට සතුට සැනසීම ළඟා වෙනවා...
එසේනම්, අදම ආරම්භ කරන්න... ඔබට අවශ්ය දේ ආකර්ෂණය කරගන්න 😍



 

Thursday, July 21, 2022

මරණින් පසු තම ඇස් සහ පටක දන් දෙන්න කැමති අයට !

 🔺 අලුතෙන්ම  Online Register වෙන්න යන අයට සහ Registerවෙලා සහතිකේ නොලැබුණ අයට 😊🙏

 

අපි ඇස් හා පටක දන් දෙන්න හරියටම Online Register වෙන්නේ කොහොමද?

 

 https://htb.mobitel.lk/     👈👈👈 මේක තමයි Online Register වෙන Link එක.

 

ඒත් ගොඩක් අයට මේකෙන් Register වුණාම සහතිකේ PDF එක එවෙලෙම ගන්න බැරි වෙනවා! මොකක් හෝ තාක්ෂණික ගැටලුවක් නිසා එහෙම වුණත් පළවෙනි පාර හරියටම මේ Form එක මේ විදියටම පිරෙව්වොත් එවෙලෙම Certificate එකේ PDF එක ගන්න පුලුවන්.

 

👇එවෙලෙම ගන්න බැරි වුණ අයටත් පසුව සහතිකේ ගන්න ක්‍රමේ මම අවසානයට 7 වෙනි අංකය යටතේ දාලා තියෙනවා!  😊

 

1. විශේෂම දේ තමා ඔබ මේ සඳහා Laptop හෝ Desktop පරිගණකයක් පාවිච්චි කරන එක වඩා සුදුසුයි! ජංගම දුරකථනයකින් මේ වැඩේ අපහසුයි!

 

2. ඔබ පරිගණකයේ Notepad එකක හෝ Word Document එකක හරියටම මේ විස්තර ඉස්සෙල්ලා Type කරන් ඉන්න.

Name (නම් දෙකක් වගේ දැම්මොත් සහතිකයේ ඉඩට ප්‍රමාණවත්)

NIC

Mobile (මේ අංකයට තමා සියලුම විස්තර ලැබෙන්නෙ. එක අංකෙන් එක දායකයයි රෙජිස්ටර් කරන්න පුලුවන්. ඒ අංකය දීර්ඝ කාලීනව තමන් ළඟ රැඳෙන තමන්ගෙම අංකයක් විය යුතුයි)

Gender

Address

Date of Birth (මාසය /දිනය/අවුරුද්ද යන පිළිවෙලට)

District

 

Nominee (සාක්ෂිකරුගේ නම සහතිකයට වැටෙනවා, ඒ නිසා හොඳට හිතලා බලලා දීර්ඝ කාලීනව ළඟ රැඳෙන සුදුසු කෙනෙක් දාන්න)

Nominee-Mobile

 

*Type (Eyes/Tissues/ Eyes & Tissues) මේක ටයිප් කරන්න අවශ්‍ය නෑ Form එකේ තෝරන්න පුලුවන් ඔබ දන් දෙන්නෙ ඇස්/පටක හෝ ඒ දෙකමද කියලා.

 

3. දැන් ඔබ ළඟ විස්තර සියල්ල තියෙනවා Type කරලා. ඊළඟට හොඳට අන්තර්ජාල සබඳතාවට සිග්නල් ලැබෙන තැනක පරිගණකය තියාගෙන https://htb.mobitel.lk/ මේ ලින්ක් එකට ගිහින් New Donor කියන Button එක ඔබලා පත්‍රිකාව Load වුණාම පත්‍රිකාව පුරවන්න පටන් ගන්න. එකින් එක අර කලින් ටයිප් කරගත්ත Notepad එකෙන් Copy කරලා Paste කරන්න. විනාඩි දෙක තුනෙන් මේක සම්පූර්ණ කරලා Submit කරන්න ඕන.

 

4. හැබැයි මතක තියාගන්න..... සේරම පුරවලා ඉවර වෙලා හරිද බලලා අන්තිමටම තමා Phone Number එක සහ ID Number පුරවන්න ඕන. මොකද, මේ දෙකම ටයිප් වෙලා තියෙද්දි එක පාරක් හරි වැරදිලා Enter වෙලා පත්‍රිකාව සම්පූර්ණ වෙන්න කලින් Submit වුණොත් ආය ඔයාට ඒ එක Number 1ක් වත් නැවත Online Register වෙන්න පාවිච්චි කරන්න බෑ, කලින් Register වෙලා ඉන්නෙ කියලා වැටෙනවා! මොකද මේ Form එකේ දායකයෙක් විදිහට ඔබව හඳුන ගන්න Unique Values (අනන්‍ය අගයන්)දෙක තමා ඒ. එක වගේ නම් ගොඩක් තිබුණත් ID Number එකත් Phone Number එකත් තියෙන්නෙ එක් පුද්ගලයෙක් නමට පමණයි. ඒ නිසා සේරම හරිද බලලා අන්තිමට ඒ දෙක පිරෙව්වම මගදි වැරදුණත් අවුලක් නෑ.

 

5. දැන් සේරම පුරවලා ඉවරයි. කලින් ටයිප් කරන් හිටිය නිසා විනාඩි 2න් 3න් පුරවන්න පුලුවන්.දැන් Submit කියන Button එක මත Click කරන්න ඕන!

 

6. ඒ ගමන්ම තප්පර 3ක් 4ක් ඇතුලත වෙනම Tab එකක් Open වෙලා හෝ ඔබ දැන් ටයිප් කර කර හිටපු තිරයම සුදු පාට වෙලා වම් පැත්තේ පහත අයිනේ පෙන්නයි Downloading Certificate කියලා. එතන Certificate එකේ PDF එක Download වෙලා ඉවර වෙනකල් ඉඳලා ඒක පරිස්සමට Save කරගෙන තියාගන්න. ඒ PDF එකේ Print Out එකක් ගත්තම හරි! මෙන්න මේ කරුණ සම්පූර්ණ වෙන්නෙ පරිගණකයෙන් මේ වැඩේ කලොත් තමා. ජංගම දුරකථනයක් භාවිතා කලොත් මේ PDF එක Download වෙන වැඩේ එවෙලෙම සිද්ධ වෙන්නෙ කලාතුරකින්.

 

7. හරි දැන් මේ විදිහටම කරලත් සහතිකේ ආවේ නැතිනම් මොකද කරන්නෙ? 🤔

 

පහසුයි! 👌

 

A. +94719366060 මේ අංකයට සතියෙ දිනක උදේ 9.00ත් හවස 4.00 ත් අතර Eye donation certificate එකේ pdf එක ලබා දෙන්න කියලා ඔයාගෙ register number එකයි ID number එකයි whatsapp කරන්න 😊🙏 එයාල PDF එක whatsapp කරයි. ඒක download කරලා printout එකක් ගත්තා නම් හරි. 😊

B. Whatsapp වැඩේ 90% ක්ම හරියනවා. එහෙම නොවුණොත් tissuebanksl@gmail.com කියන email එකට register number එකයි ID number එකයි යවලා PDF එක email හරහා ගෙන්න ගන්න!

 

C. ඒ ක්‍රම දෙකම අසාර්ථක වුණොත් පමණක් 112 698 040 මේ Number එකට call කරලා දැනුම් දෙන්න Register වුණා Certificate එක download වුණේ නෑ email කරන්න පුලුවන්ද කියලා 😊 එතකොට Form එක පුරවන වෙලාවෙදි දාපු ID number එක phone number එක email එක වගේ ඉල්ලන විස්තර දෙන්න. ඊට පස්සෙ අවදානෙන් ඉන්න දවසකින් දෙකකින් Certificate එකේ pdf එකක් email කරයි. ඒක download කරලා printout එකක් ගත්තා නම් හරි. 😊

 

මට මුලින්ම මගේ සහතිකේ ගන්න අපහසු වුණා. හරි අමාරුවෙන් ගෙන්න ගත්තෙ. ඒත් ඊට පස්සේ මේ ක්‍රමය දැනගත්ත නිසා යාලුවො නෑදෑයො 20 දෙනෙක්ට විතර මම සහතිකේ හරියට අරන් දුන්නා. ඒ වගේමයි ඔබේ තොරතුරු නොදන්න අයට දීලා පුරවගන්න එපා දන්න හඳුනන කෙනෙක්ට පමණක් පුද්ගලික තොරතුරු ලබා දෙන්න!

 

මේ මම පුද්ගලික අත්දැකීමෙන් ලිව්ව විස්තරයක්. මේ තොරතුරු වල වැරදි අඩු පාඩු තියෙනවා නම් මාව දැනුවත් කරන්න.

 

තෙරුවන් සරණයි! 😊🙏



Sunday, May 29, 2022

Protect all children even if thet are not yours !

 

🙏 කාගෙ දරුවෙක් වුණත් අනාරක්ෂිත බවක් දැණුනොත්, මං ඇහැ ගහගෙන ඉන්නවා. ඒක මගෙ හැටියක්.
👉 Supermarket වල ඔහේ අත පත ගගා දුවන ළමයි ඉන්නවා. අම්මලා කොහෙද දන්නෙ නෑ.
👉 තාප්ප වලින් නැගලා පහළ බලන්න දඟලන ළමයි. වැටෙයි බයට මං ළං වෙලා අල්ලගෙන පුතේ වැටෙයි කියලා අනතුරු අඟවනවා.
👉 වාහන වලින් එළියට ඔලුව දාගෙන අත පය දාගෙන යන ළමයි. පුතේ අත ඔලුව ඇතුලට ගන්න කියනවා.
👉 බස් වල ගියේ කැම්පස් යන කාලෙ විතරයි. ඒ කාලෙදිත් හිටගෙන යද්දි break ගැහුවොත් විසි වෙයි හිතෙන ළමයි එක්කො ළඟ ඉඳගස්සවගන්නවා. එක්කො අතින් අල්ල ගන්නවා.
👉ලොකු ගෑණු ළමයෙක්ට වුණත් පිරිමි කෙනෙක්ගෙන් කරදරයක් හිංසාවක් අපහසුතාවක් වෙනවා පෙණුනොත්, මෙහාට එන්න නංගි කියලා අතින් ඇදලා ළඟට අරන් ඒ ගැන අපි ඇහැගහගෙන ඉන්න බව ගොදුරු හොයන අයට දැනෙන්න ඇරලා තියෙනවා.
👉 බිම දනගාගෙන බඩ ගාගෙන යන, කොවිඩ් කාලෙත් අනාරක්ශිතව ගෙනියන ළමයි දැක්කම mask එක පහළට දාගෙන යන ළමයි දැක්කම තමන්ගෙම දරුවෙක්ට වගේ mask එක දාගන්න පුතේ කියනවා.
👉 මං දැක්කා මගෙ අක්කා post එකක් දාලා තියෙනවා පොඩි ගෑණු ළමයි දෙන්නට Safe Circle එකක් ගැන කියලා දුන්න. පොඩ් කාලෙම ළමයින්ට තමන්ගෙ දෙයක් විශ්වාස කරලා කියන්න ඕන කාටද කියන දේ උගන්වලා, තමන්ගෙ ශරීරය පරිස්සම් කරන්න ඕන විදිහ කියලා දීලා.
👉 ගැහැණු පිරිමි භේදයක් නෑ දරුවො අපයෝජනය වෙනවා හිතාගන්න බැරි තැන්වලින්. පාසලෙන් පන්තියෙන්, විශේෂයෙන්ම අහළ පහළ විශ්වාසයි කියලා දෙමව්පියොම ලං කරගන්න අයගෙන්. Child Abuse කරන මිනිස්සුන්ට අදාල නෑ කාගෙ දරුවෙක්ද මේ කියන එකට.
👉 අම්මලා තාත්තලා තමන්ගෙ දරුවට ආදරේ නම් තමන් ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට අනවශ්ය විදිහට දරුවොන්ට ලං වෙන්න දෙන්න එපා. කොටින්ම toilet ගෙනියන්න නාවන්න ඇඳුම් මාරු කරන්න වගේ රහස්ය දේවල් වලට පිට අයට ඉඩ දෙන්න එපා. පොඩි වයසෙන්ම ළමයින්ට අනික් අය ඉස්සරහා ප්රසිද්ධියේ ඇඳුම් මාරු කරන්න එපා කියන දේ කියලා දෙන්න. මේකට ළමයගෙ වයස අදාල නෑ. 🙏🙏🙏
කාගෙ දරුවෙක් වුණත් පුලුවන් තැන පරිස්සම් කරන්න. 🙏🙏 තමන්ගෙම නොවුණත් ඒ වචන ක්රියා වලට කොහෙ හෝ ළමයෙක් පරිස්සම් වෙනවා ඇති.
අද ළමයෙක් හදලා සමාජෙට යවනවා කියන්නෙ එක තප්පරයක් ගානෙ හැමෝම ගැන සැකෙන් බලන්න වෙන භයානක දෙයක් වෙලා. ලංකාවෙ නෙවේ මොන රටෙත් අඩු වැඩි වශයෙන් මේක තියෙනවා ඒ පිරිහීම මිනිස් සංහතියෙම තියෙනවා 🙏
ඇස් දෙක වගේ, රත්තරං වගේ බලාගන්න බැරිනම්, ආදරේ දෙන්න බැරි නම්, භෞතිකව, මානසිකව, ආර්ථිකව කුමන හෝ හේතුවක් නිසා ඒ දේට සූදානම් නැතිනම් අනේ කාටවත් ඕනවට දරුවො හදන්න එපා 🙏🙏🙏