
ඔබව විනිශ්චය කරන්න, ඔබව රස විඳින්න ඔබව අගය කරන්න, විවේචනය කරන්න වගේම ඔබව පහළටම ඇද හෙලන්නත් පිරිස එක අවකාශයකදී ඔබට හමුවෙනවා.
මෙය ඔබට ඔබේ භාණ්ඩය, සේවාව, අරමුණ ප්රවේශ කරන්න ඕන ඉලක්කගත ප්රේක්ශකයින් හොයාගන්නත් ලේසි තැනක්.
Smartphone එකක් අතේ තියෙන data, signal තියෙන ඕන කෙනෙක්ට කෙටි කාලෙකින් මේ අවකාශය තුළ ක්රියාකාරී වෙන්න පුලුවන්.
හැබැයි
මේකත් එක සමාජයක්
මෙතන ඉන්නවා Virtual එහෙම නැත්තං "Real සමාජයට ආසන්න තත්වයක්" හමුවේ එකතු වුණ පිරිසක්.


එතනදි අපි අපිට ලැබිලා තියෙන වරප්රසාද එක්ක වඳුරට දැලි පිහිය අහුවුණා වගේ නොවෙන්න වැඩකරන්න අපි වග බලාගන්න ඕන.
.
1. සුදුසු තැනදි පමණක් තමන්ගෙ අදහස් ප්රකාශ කිරීම -
සමහර තැන් තියෙනවා අපි කොච්චර දැනුවත් වුණත් වචනයක් වත් නොකියා එපිටහ පාරෙන්ම මග ඇරලා යන්න ඕන. මොකද හැමෝම එක මට්ටමේ අය නොවන නිසා. සමහර විට Friend List එකේ හිටියත් කවුද කෙනා කියලා හඳුනගන්න අපිට කාලයක් යනවා. සමහර තැන් තියෙනවා අපි අපේ වචනය භාවිතා කලොත් වටින. එක්කො දැනුමට. එක්කො විනෝදයට. එක්කො ප්රඥාවට. අන්න ඒ සුදුසු වෙලාවෙ සුදුසු තැනදි අපි අදහසක් දුන්නොත් ගොඩක් වටිනවා.
2. සුදුසු අවස්ථාවෙදි පමණක් ලබා දී තිබෙන සේවාවන් පරිහරණය කිරීම -
ඔබට ඡායාරූප, වීඩියෝ වගේ ඕනම මාධ්යයක්, ලේඛනයක්, අදහසක් පල කරන්න මෙහි ඉඩ තිබෙනවා. අනික් අය පල කරන දේවල් බෙදා ගන්නත් ඉඩ තිබෙනවා. ඊට අමතර අන්තර් පුද්ගල සන්නිවේදන කටයුතු වඩ වඩාත් පහසු කරන්න Instant Messaging System එකක් සහ Video , Audio දුරකථන ඇමතුම් ගන්න අවස්ථාව තිබෙනවා. ඇත්තටම මේ හැම එකක්ම තියෙන පලියට භාවිතා කරන්න අවශ්ය නෑ. අවශ්යම නම් පමණක් භාවිතා කර ඔබේත් අන් අයගෙත් කාලය සහ නිදහසට සාධාරණයක් කරන්න බලන්න ඕන.
3. සුදුසු දේ පමණක් බෙදා හදා ගැනීම -
අපුණ්ය දාන කියලා දෙයක් අහලා ඇති. ඒ දානය දුන්නට පිනක් නෑ. පවක් තමා වෙන්නෙ. බෙදන්න සුදුසු ඒවට වඩා මේ සමාජ මාධ්යයෙ බෙදාගන්නෙ අනවශ්යම දේවල්. අහල පහල ඉන්න කුඩා දරුවොත් අපේ වැඩිහිටියොත් මේ අස්සෙම ඉන්නවා. කෙනෙක්ගෙ තරහව, මෝහය, කාමය ඇවිස්සෙන විදිහට හෝ කෙනෙක්ට අවමන් වන දෙයක්, කෙනෙක්ට හෝ පිරිසකට අයහපතක් වන දේවල් බෙදාගෙන ඒ අපරාධ දාමයේ පුරුකක් නොවී ඉන්න බලන්න.
4. තමන් වගේම තමාට සබැඳි සියලුම පාර්ශ්වයන්ගේ අභිමානය ගැන සිතා කටයුතු කිරීම -
ඔබේ ක්රියාවන් ඔබට ගෑවුණ ගෑවුණ තැන් වල හැම කෙනාටම එය වක්රව බලපානවා. ඔබේ පවුල, නෑයන්, මිතුරන්,පාසල , රැකියා ස්ථානය ආදී සියල්ලටම සම්බන්ධ අය ගැනත්... විශේෂයෙන් තමා තමන්ම පිළිබඳවත් ගෞරවයක් ඇතිව කටයුතු කරන්න ඕන. කතාවට කියන්නෙ Card කුඩු කරගන්න එපා කියලනෙ. ගෑණු පිරිමි බේදයක් නෑ. ඔබ ඔබට ගරු කරන්න ඕන ඉස්සෙල්ලෙම අනික් අය ඔබට ගරු කරන්න නම් 

5. මානුෂීයව කටයුතු කිරීම -
Social media භාවිතා කරන බහුතරයක් ළඟ නැතිම දේ තමා මේ... උඩ කී කරුණු 4 ටම වඩා මනුස්සයෙක් විදිහට දුර දිග බලලා, කරුණාවෙන්, තැනට සුදුසු විදිහට මනුෂ්යත්වය පෙරමුණට අරන් වැඩ කරන්න ඕන අපි. මේ එහා පැත්තෙ ඉන්නෙත් මම වගේම කෙනෙක්, මට වගේම අම්මා තාත්තා අයියා මල්ලි අක්කා නංගි නැන්දා මාමා වන කෙනෙක්. අපි කරන දේවල් අපිට, අපේ අයටම කැරකිලා එන්න පුලුවන්. ඒ නිසා කැරකිලා එනදේ යහපතක් ම පමණක් කරගන්න අපි වග බලාගන්න ඕන. ඒ නිසා මොන වචනෙත්, මොන ක්රියාවත් ක්රියාත්මක වෙන්න කලින් මිනිස්සු විදිහට වැඩ කරන්න පුලුවන් වෙන්න ඕන. නැත්තං වඳුරො සහ අපෙ වෙනසක් නැතුව යනවා.
.
ඉස්සෙල්ලා මිනිස්සු හඳුන ගන්න. මේ අවකාශය අඳුන ගන්න. සතා මොකාද කියලා පොඩ්ඩක් ඇහැ කන යොමාගෙන ඉන්න. ගැලපෙනවද, තියාගන්නවද, හලනවද කියන එකටත් කාලයක් යනවා. ඔබ ගෑණු පිරිමි තරුණ මහලු කවුරු වුණත්... යන්නන්වාලෙ මිනිස්සු එක්ක මිතුරු කම් ආරම්භ කරන්න දඟලන්න එපා.
නිහඬව... නිරීක්ෂණය කරන්නෙක් වෙන්න. කාලෙත් එක්ක ඔබට මේ සමාජ මාධ්ය ඇතුලෙත් සැබෑ ජීවිතයේ වගේම ඔබට ගැලපෙන පිරිස පමණක් ඉතිරි කරගන්න එය රුකුලක් වේවි 

~ විලෝචනා ~
No comments:
Post a Comment
leave your comment here...