Pages

Monday, August 31, 2020

මට මං හමුවුණා 💛 ඔබත් ඔබව ඉක්මණින් මුණ ගැසෙන්න... 💛

 - උපුටාගැනීමකි -

ජීවිතේ තේරුම් යද්දි,
තැන්පත් වෙනවා...
තැන්පත් වුණාම,
දැඟලිල්ල අඩුවෙනවා...
දැඟලිල්ල අඩු වුණාම,
කැපී පෙනෙන්න තිබුණ උවමනාව,
නැති වෙනවා...
කැපී පෙනෙන්නෙ නැති වුණාම...
මිනිස්සු ඔබ ගැන හොයන එක,
නවත්වනවා...
එවිට ඔබට,
නිදහස දැනෙන්න පටන් ගන්නවා...
අන්න ඒ නිදහස ඇතුලේ,
ඔබට,
ඔබව හමුවෙනවා... 💛

Sunday, August 30, 2020

පා නැමද නතර වෙමි... දිණුම වෙත නුඹ යන්න 🙏

සංසාරෙ කොතන හෝ,
මුණ ගැහුණ පුරුද්දට...
සසරෙ අපි එක් එක්ව,
පින් කෙරුව පුරුද්දට,
ඇස් දෙකට ගැටිල වත්,
නැතිව නුඹ දුරක සිට,
සෙත් පිරිත් පැන් එවයි...
සෙමෙන් සුවපත් වෙන්න...
.
මේ ඇයයි... ! හඬ හැඳින,
මා ස්වරයෙ හිත රැඳුන,
සසරෙ, කවි ගී කීව
පුරුද්ද තවම ඔය...
ගම්භීර නුඹෙ හඬට...
හිස නවා අවනතව...
ඉන්නෙ මුත් තවම නෑ
ඉදිරියට එන සවිය...

නුඹෙ ගමන නුඹ යන්න...
මට නොහැකි වෙයි එන්න...
කෝටි ලක්ශයක් වූ
සක්වලම සනසන්න...
සසර හරි බියකරුයි...
විරිය නැත මට එන්න...
පා නැමද නතර වෙමි...
දිණුම වෙත නුඹ යන්න 🙏
.
නුඹ එවූ දූතයන්...
දෙසන දම් අසා සිත,
සනසවා නිවීගෙන,
කුසලයෙන් පුරෝගෙන,
ඉන්නෙ නම් යහ මගක,
ඒ පිනත් නුඹටමය...
සියලු බන්ධන බිඳින්...
නසනු මැන කෙලෙස් මුල 🙏

Saturday, August 29, 2020

බැබලෙන්න. බබලවන්න 😍

 😍 ඔබ කලින් හිටියෙ කොහොමද කියන දේ වැදගත් නෑ 😊 ඔබ දැන් ඉන්න විදිහයි වැදගත්... ඔබව සුන්දර කරගැනීම ඔබේම කාර්යභාරයක්. ඔබ තුළ වූ නුගුණ නසා, යහපත් ගුණධර්ම ඉස්මතු කොට ගෙන සුන්දරව බැබලෙන්න. බබලවන්න 





Friday, August 28, 2020

💛 Be a nonstick pan 😍

💛 Be a nonstick pan. 🍳 Be ready for your duty instantly. 😊 Perform it as best as you can. 👌 Once it is over, do not stick with left overs, just remove your self from it without hurting yourself. 🤷 Calm down peacefully 😇

Non Stick පෑන් එකක් වෙන්න 😍 ක්ෂණිකව Duty, එකට සූදානම් වෙන්න... හොඳින් තම වගකීම් කාර්යභාරය ඉටු කරන්න... කල යුතු කාර්ය භාරය ඉවර වුණාට පසුව අනවශ්ය ඇලීමකින් තොරව තමන්ට හානියක් නොවන පරිදි ඉවත් කල යුතු දෑ ඉවත් කරන්න. ඉන් පසුව හදිසි නොවී, ක්රමාණුකූලව නිවෙන්න 😍 .


© විලෝචනා අබේකෝන්

Sunday, August 23, 2020

මුලම ටික 😍

😍
මුලම ටික හොඳ නම්...
එන්න අපි අරඹමු,
ආයෙමත් මුල සිට,
නන්නාඳුනන විලසින්...
පින්තූරෙක කොමෙන්ටුවක...
"Cover එකක් කරමුද? "
අහලා... 😁

දිගින් දිගට දැමූ...
කොමෙන්ටු වලින් මිදී...
කෙටි පණිවිඩ එක එක එවලා...
රෑ දිවා මග තොටේ,
ජිම් එකේ, ඔෆිස් එකේ,
එදිනෙදා විස්තර දොඩලා... 😘

නොගැලපීම් දහසක් අතර,
ගැලපුණ පාලුව,
හත්වෙනි කොටුවෙ
උච්චව, සවක්ශේත්රව රජයද්දි,
කාලයාගෙ ඇවෑමෙන්...
පාලුවට පයින් ගසා...
සිකුරට හතේ කිරුළ පලඳලා... 💏

එන්න දවසක ආයෙමත්,
රැජිණ හෝටලේ අභියස,
දළදා මාලිගාවෙ දොරටුව ලඟට...
සුදු ඇඳන්,
සුදු නෙලුම් වට්ටියක් අතින් ගෙන...
ඉන්නම් මං,
බඹයක් උස සිරුර දෙස මිස,
මුහුණ දෙස එකවර නොබලා.... 🙊

සංසාරෙ මෑත භව කිහිපයක...
මතක එක පිට එක අවධි කරගෙන...
මේ භවයෙත්...
මුලින්ම මුණ ගැහෙණ දවස,
ආයෙම පෙළ ගස්වලා... 😍

දින එක දෙක ගෙවෙද්දි,
කෙටි පණිවුඩයක ලියා එවන්න...
මීට වසර ගණනාවකට පෙර,
නුඹ මට නොකියාම...
දුර ඉඳන්...
මේ දවස වෙනුවෙන්,
සිහින මැවුවා කියලා...🤦

එන්න...🏍️💏
කඳු දිය ඇලි වල, 🌿🏞️
පා සටහන් ඉතිරි කරන,
ගිටාරයේ තත් අතර අතරමන් වන 🎸🎶
දහසකුත් අසරණ හිත් සනසන... 
එකිනෙක බලාපොරොත්තු,
මුදුන්පත් වෙන ජීවන පෙළහරේ,
සුන්දර ඇරඹුම සනිටුහන් කරලා... ️💏

මුලම ටික හොඳම ටික නම්...
එන්න අපි ආයෙ ආයෙ අලුත් වෙමු... 🤷
ආයෙ ආයෙ මුල ඉඳන් අරඹමු...
නීති කඩදහියේ පමණක්...
"2018" තියෙන්න හැරලා... 😘
.
© විලෝචනා


Tuesday, August 18, 2020

💛 ජීවිතය කියා දෙන පරිසරය...

කඩුපුල් මල් වට්ටි පුරවලා එදා පූජා කරද්දි, හීනෙකින් වත් තේරුණේ නෑ ඒකේ දුර්ලභ බව... ඒත් අද දැක දැක හිත පිනා යනවා... ආය ඒ වගේ දවසක් එයිද හිතාගන්න අමාරුයි... 😍 . වත්ත කොනේ විහාර ගේ ළඟ සල් ගහේ යට ඉඳන් උඩටම තැන තැන සල් මල් ඒ මේ අත බරටම පිපිලා තියෙද්දි ඔහු ලවා මල් තුන හතරක් ගෙන්වාගෙන උදෑසන බුදුරජාණන්වහන්සේට පූජා කලා. ඒත් අද ආසාවට වත් සල් මලක් නැති දවසෙ... හරි හරියට එහි අගය දැනෙනවා... හැබැයි තිබුණ කාලේ පූජා කලා කියලා හිත ගොඩක් සතුටු වෙනවා 😍 . පිච්ච පඳුරු වැහි වැහැලා සුදට සුදේ ඒ දින වල මල් පිපිලා තිබුණා...මම හැමදාම උදේ හවස ඒ මල් බුදුරජාණන්වහන්සේට පූජා කලා... බොහොම සැදැහැ සිතින්... ඒත් අද එක මලකුත් නෑ... අද ඒ මල් පිපුණ හැටි මතක් වෙද්දිත් හීනයක් වගේ 😍 තිබුණ දවස් වල හිතේ හැටියට මල් පූජා කලා... ඒ වේලුන මල් වලින් හැදුව පිච්ච කොට්ටයත්... මාසෙකින් රුවන්අලිසෑයට පූජා කරන්න පුලුවන් වෙන්නේ... ඒ නිසයි...😍 . ඇදීරිනීතිය කාලෙ ගොඩක් කඩ එහෙම වහලා තිබුණ නිසා සත්තු වැඩි වැඩියෙන් කෑම හොයන් ආවා. මමත් ඔහුත් අනන්ත ඒ අයට කෑමයි නාන්න වතුර හට්ටියි තියලා ඒ අය කන, බොන නාන වාරයක් ගානේ, අලුත් අලුත් කුරුල්ලො එන වාරයක් ගානෙ, එකා එකා ලේන්නු වැඩි වුණ ගානෙ සතුටු වුණා. තව තව කෑම දැම්මා... අදටත් ලේන්නු හතක් අටක් සහ විවිධ කුරුල්ලො එනවා. ඒත් අර තරම් විවිධත්වයක් ප්‍රමාණයක් නෑ. එහෙම කල්පනා කරද්දි ඒ කාලෙ කොයි තරම් දුලභද හිතෙනවා... 😍 ලස්සන නිලට නිලේ ගොයම් පැහිලා තිබ්බ දවස් වල ගෙදර වත්ත පාරදීසයක් වගේ පෙණුනා. ඒ කෙත් වතු සිසාරා ආව හුළඟ මුසු වුණ හැම හිරු කිරණක්ම අද මට ඒ සුන්දර උදෑසනේ අගය කියාදෙනවා... ගොයම් කැපුවට පස්සෙ අද ඒ සුන්දර බව තරමක් වියැකිලා... ඒත් නිදහසේ මේ උණුසුමත් දරාගන්නවා, ගස් වැල් වල පිහිටෙන්...😍 . උතුරුන්න වැහි වැටුණ දවස් වල කඩදාසි බෝට්ටු හදලා ඒ පස්සෙ දුව දුව ගස් උඩ නැග නැග අපි දෙන්නා දඟලපු මේ යායම ආයෙත් වේලීගෙන එනවා... ⛵මේ වෙනස තමා මට ඒ අතීතයේ අගය කියලා දෙන්නේ... 😍 . මහනුවර ඉන්න කල් ඔහුත් මමත් පුලුවන් හැම මොහොතෙම ඇවිද්දා, කඳු දිය ඇලි සිසාරා 😍 ඒ දවස් ගැන මහනුවර තියෙන පූජනීය සුන්දර මතකය පෙරදැරිව හිතද්දි හරිම මිහිරියි... 💛 එහෙ තිබුණෙ අමුතුම පූජනීයත්වයක්. සුන්දරත්වයක්... අදටත් ඒ දවස් නැතුව නොවේ... අපි කඳු දිය ඇලි පුදබිම් හොය හොය ඇවිදිනවා... ඒත් දැන් මහනුවර පැයක් දුරස් වෙලා 💛 ජීවිතය ලං වෙලා... 😍 . සමහර වකවානු ජීවිතයේ රැඳෙන්නෙ බොහොම කෙටි කාලයයි... සතුටු වෙන්න විඳින්න, නිදහසේ ඉන්න හැමදාම බෑ.. හිත ගත වගේම භාහිර පරිසරය, දේශගුණය, එකතු වෙන අය, ඒ ඒ කාල වල වගකීම් සේරම බලපානවා. ඉතිං... ලැබුණ මොහොතෙන් උපරිමයෙන් ප්‍රයෝජන ගත්ත නිසා... ඒවා මිහිරි මතකයන් මිස කවදාවත් පසුතැවීම් වුණේ නෑ... කාලය බොහොම සීමිතයි... අවස්ථාවන් හරිම දුර්ලභයි... ඒවා ලැබෙද්දි ඒවා විඳින්නත් අපිට පින වාසනාව තියෙන්න ඕන... 😍 . මේ ජීවිතයේ... පින් කරන්නත්... හැමදාම බෑ... හැමෝටමත් බෑ... ඒකත්... බොහොම සීමිතයි 😊 ඒ අවස්ථාව පවතින්නෙත් අන්න ඒ වගේ "#ක්ෂණයක" පමණයි 😍 . © විලෝචනා අබේකෝන්...

Wednesday, August 12, 2020

අරගලය

💛 විශ්වාසය ඇති කරගැනීමට තනි මනසින් අරගලයක යෙදෙනු නොහැක. අරගලය ඇරඹුනේ... බිඳුණු විශ්වාසය තුළින්ම නම්... අරගල සමයේ සිත ව්යාකූල කරන සියුම් තතු, කවදා හෝ අලුයට සැඟවූ ගිණි පුපුරු මෙන් මතු වී මහා ගිණ්නක් මවා අප සුනු විසුණු කරනු ඇත. එබැවින්... අත්හරින්නට නොහැකි තරමේ භෞතික සාධක නොවේ නම්... හදවත පරදා අප නික්ම යා යුතුය.

එක් ලෙඩකට ගුණ වූ අහරක් තවත් ලෙඩකට බොහෝ අගුණ වන්නේය... ගුණවත් සෑම දේම සෑම විටම එකම තැනකදී ගුණවත් නොවන්නට පුලුවන. එබැවින් එක් සාධකයක් මුල් කොට ගෙන යමක ගුණ අගුණ කීම හෝ යහපත් අයහපත් බව කීම නොරිස්නේය.

ඔබත් මමත් දෙයාකාරයකට ගුණවත් බව සිතා ඔබ ඔබට හැකි ලෙස තමන්වත් ලොවත් සුවපත් කල යුතුය. මම මට හැකිලෙස මමත් ලොවත් සුවපත් කරමි. එනයින් අප නික්මෙමු. එකිනෙකාට ගරු කොට 😊 ලෝ දහම සනාථ කර... 💛 විශ්වාසය පිළිබඳ අප අප අරගල කිරීම තුළ නිශ්පල වූ මිනිත්තු තව තවත් ඉතිහාසයට එක් නොකර ම... 😊
.
© විලෝචනා අබේකෝන්

හීනෙක හීනයක්

ගිණි මද්දහනෙ...

හීනෙක හීනයක්
ඒ හීනෙත් හීනයක්... 🤦
අවදි වෙවී හිතනවා...
ආ... ඒක හීනයක්... 🙄
ඒත් අවදි වෙලා තිබුණෙත්...
හීනෙන් 😂

එයා එනවා...
දුණු ඇඳේ දුනු යටට එබෙනවා...
ඔව් එයා ළඟින් වාඩි වුණා...
මෙට්ටය ගිලා බහිනවා...
තද නින්දට ඇහැ අරින්න දඟලද්දි,
ආයෙම නින්ද යනවා...
ආ එයා ඇවිත් නෑ 😂🤦
ඒක හීනයක්...

හැරිලා ආය නිදද්දි...
ආය දුනු එබෙනවා...
ආ... අර හීනයක් නෙවේ...
ඇත්තටම එයා ඇවිත්... 🤦
ඒත් බෑ ඇහැ අරින්න...
ආයෙත් වැටුණා නින්දට...

හීනෙම ඇහෙනවා
හීන්වට...
"දුව... මොනවා හරි බිව්වොත් හොඳයි නේද? " ඒක හීනයක් නෙවේ... 😂
ඒක ඇත්තට...
ඒත් එයා නම් ඇවිත් නෑ...
ඒක හීනයක් 🙄😴
.
© විලෝචනා අබේකෝන්



Saturday, August 1, 2020

සුන්දර ශාපය

💛
කුණාටුව,
කුමට වෙර බඳිමිද මම නුඹට,
රැගෙන ආ,
මල් වරුසාව විඳ විඳ...
.
ගින්න,
නුඹ දැවූවාට සාප කරනු කිම,
දවාලු අලු,
පෙරටත් වඩා පෝෂණය දී,
සාරවත් කල බැව් දැක දැක...
.
මුරුගසන් වරුසාව,
සියලු දෑ සෝදා පාලු කල ද නුඹ,
කුමට දොස් පවරමිද මම,
දෙව් බඹුන්ට වඩිනට,
සියල්ල දොවා පවිත්ර කල බව දැන...
.
නියඟය,
නුඹ ම නොවෙද,
කර්කශව ඉරිතැලුණ මහ පොළොවේ,
නිරුදක වේදනාවට ද ඔරොත්තු දී...
මල් ඵල බර විල් ඉතිරෙන,
වසන්තයක අගය ද,
ඒත්තු ගැන්වූ...
සුන්දර ශාපය...

නුඹට තුති...
වසන්තය එන තෙක්...
මාරයා මං මුලා කලාට...
.
වෙනස් ඍතු නුඹව ඕනෑම අවස්ථාවකට ඔරොත්තු දෙන ලෙස සූදානම් කරවයි... 😊 දුෂ්කර බව නුඹට සැප පහසුවේ අගය කියා දෙයි... අයහපත, ඔබට යහපත කොතරම් සොඳුරුද යන වග අත්දැකීමෙන් ම ඒත්තු ගන්වයි... අටලෝ දහමින් කම්පා නොවන්නට නිදසුන් ගෙනහැර දක්වයි...
.
© විලෝචනා අබේකෝන්