
අවසනට නුඹ ඇන්ඳ කමිසේ,
සුවඳ තවමත් තියෙනවා...
සුව සෙවනෙ දොස්තරට කියු දුක,
තුන්ඩුවෙත් මට දැනෙනවා...
සියයෙ පනහේ නෝට්ටු අතරේ,
සුසුම් ලූ හැටි පෙනෙනවා...
නුඹ ගියේ යන්නටම දැයි,
හිත හීනයක් දැයි අහනවා...
.
වඳින්නට අනුරා පුරේ,
ගෙන එන්න යැයි මට කියු නිසා...
ගෙනත් දුන්නෙමි කමිසයක්,
බෝ තුටින් නුඹ කී බස් අසා...
වැන්ඳෙ නුඹෙ සිරි දෙපා යුග,
අවසාන වරටැයි නෙතු වසා...
සිතන සිහිවන වරක් පාසා,
මටම මම නගනෙමි දොසා...
.
නුඹේ පිරිපුන් සුදෝවන් බර,
සුරතෙ දැඩිබව දැනෙනවා...
සුදු පතුල් හැම රෑක තෙල් ගා,
ඇතිල්ලූ හැටි පෙනෙනවා...
අනේ ඇසි පිය වසා හැරියම,
නුඹ සිටීදැයි හැඟෙනවා...
මේ භවේ කිසි දිනක යලි නුඹෙ,
පහස අහිමිනෙ සිතෙනවා...
.
අදත් ඉඳ හිට සත්තකින් මට,
නුඹේ කට හඬ ඇසෙනවා...
කිරිදුවේ යැයි ඇසෙන විට,
ගිණි පුළිඟු පපුවේ කෙටෙනවා...
නුඹ සුසුම් ලූ මගේ කුටියේ,
මතක තව සැරි සරනවා...
හිනාවෙන් යටපත් කරන්,
අප්පච්චි ළඟ බව හිතනවා...
No comments:
Post a Comment
leave your comment here...