Pages

Saturday, October 29, 2016

කිසාවත


දිව විත් සැනින්
දී රස බොජුන්
හනිකට ඇදෙන
මා සඳ කිඳුර...
.
කුස ගිණි නිවා
සිත බෝ තුටින්
සෙනෙහස කියන
වෙන උන් කවර...
.
තනි කම් නොදී
සෙවනැල්ල සේ
මා පසු පසින්
රැඳෙමින් නිතර
.
නුඹ දෙස බලා
නිබ්බුත පදය
ගයනා කිසාවත
වෙමි මෙවර...

අනත් දැරිය

සුදු වතින් සැරසී
කච්චේරි බිල්ඩිමේ
හෙමි හෙමින් පිය මැන්න
ඇයටත් මටත්...
.
කිසිදිනක හුරු නොවුනු
වචන යුගලක රිදුම
කටු කෙවෙන සේ දැනුණි
කීවත් නැතත්
.
වැනදඹුව කර ඇයව
අප අනත් දරු කෙරුව
ඒ කටුක හිත් රිදුම
පෙනුනත් නැතත්
.
දරාගනු කෙලෙස අප
කඳුලු බිඳු නොසලාම
නුඹ යළිඳු අප ළඟට
ආවත් නැතත්...
.
මා අනත් දැරියක කර නොකියාම යන්න ගිය සොඳුරු මනු සිත... අප්පච්චී...හිතේ දෝන්කාර දෙන බියුගල් හඬ මේ තරම් කටුක විදිහට දැනිලා නෑ කිසිදවසක... නුඹ ගියෙන් කිරි දෝණි තමයි තනි උනේ... 

Sunday, October 23, 2016

අච්චා ...

අච්චා ... කිරිදෝණිට නිදා ගන්න ඔලුව අත ගගා කවි පිරිත් කියන්න ආයෙ කවදාවත්ම එන්නේ නැල්ලු.හැමදාම ගෙයින් පිට වෙන්න කලින් දණ ගහලා වඳිනකොට අච්චා මගේ නළල ඉඹිනවා ... ඒත් මුළු ජීවිත කාලෙටම මං අච්චගේ නළල ඉම්බෙ දෙපාරයි ... ඒ පෙට්ටිය ඇරපු ගමන් ... අනික පෙට්ටිය වහන්න මොහොතකට කලින් ... කිසිම රස්නයක් තිබ්බේ නෑ ... මට තවමත් මේක හීනයක් වගේ ... නෑ කියලා හිතෙන්නේම නෑ ...

රිද්දපන්


රිද්දපන් රිද්දපන් තව රිද්දපන්...
වැටෙන්නෑ කොහෙත් මම තව රිද්දපන්...
හිතේ හිරි ඇරෙනකල් තව රිද්දපන්...
රිදෙන්නත් බලාගෙන මට රිද්දපන්...

Monday, October 17, 2016

...::: කුණාටුවක් :::...

🙄
මට කුණාටුවක් වෙච්චි හුළඟෙ,
උඹ රෙදි වේලගන්න එකට නෙවෙයි මට දුක...
ඒ හුළඟ මට කුණාටුවක් වුණ හැටි උඹ අමතක කල එකට...
ටික කාලෙකින්...
ඒක මට දුකකුත් නොවේවි...
මොකද මට උඹත් සතපහකට මායිම් නොවෙන,
තවත් එකම එක මනුස්සයෙක් විතරක් ගාණට වැටුණ දාට...
රෙදි වේලගෙන ඕනෙ නම් සරුංගල් යැව්වත්,
මට වගක් නැති හින්ඳා...
ඒ නිසා...
තෝරගණින්...
එක්කො මාව...
එක්කො හුළඟ...

Wednesday, October 12, 2016

අප්පච්චී නුඹට නියතයි නිවන් සුවේ

Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.
නුඹෙ හද ගැහෙන විට මෙච්චර මල් සුවඳ
නුඹ වට තිබුණි නම් කෙතරම් අගනේද
ධනයට වඩා මිනිසුන් ඉපයූ සුහද
නුඹෙ ගුණ වැණුම සිය වසකින් කල හැකිද
.
කට රස කල බොජුන් සිය දෑතින්ම උයා
කනතුරු බලා හිඳ රසදැයි වරුණෙ කියා
යුධ බිම රස කතා නෙත ළඟ මවා තියා
නුඹ මා උකුලෙ ඉන්ඳා රට වටා ගියා
.
පිපුරුම් හඬින් පසු නොබැසූ විරුවාණ
දම් පද මැනව වනපොත් කල සමිඳාන
පන්සල් පිලිම කරවූ පින් ගිහියාන
නුඹමය දිවිය කවියක් කල කිවිඳාන
.
ආගම් ජාති හැර අත හිත දුන් නුඹගේ
ගුණ වණනවුන්ගේ බස වත් මට නොහැගේ
එනමුදු ඉනුව කඳුලැලි දැක උන් නෙතගේ
ආඩම්බර වුණා හදවත කිරි දුවගේ
.
සෙබලුන් දහස් ගණනින් විනයෙන් තැනුව
නුඹෙ සරඹමයි මා ගත ලදුවෙත් විරුව
නුඹෙ ගති මට වෙතැයි බෝ පැසසුම් ලදුව
සැම විට ඉපිලුනා සිත මා තෙද ඇතිව
.
හිරු නැග බසින මොහොතට පමණක්ම නොවේ
නුඹ මට පෙරට වැඩියෙන් සිහියට නැංවේ
බියුගල් හඬින් නුඹ හට සමු දුනිමි නොවේ
අප්පච්චී නුඹට නියතයි නිවන් සුවේ