
.
තුසිතෙන් බට සුර දූතිය,
අපෙ ලෙය අපෙ හැඩරුව ගෙන,
අමා පැනුත් එපැයි කියා,
නෑනගේ ලේ කිරි කෙරුවලු...
කොලු විසේට දඟල දඟල,
කියවපු අපෙ ලොකු අයියට,
ඒ සුර දූතිය දෝතින්,
පිය පදවිය හිමි කෙරුවලු...

.
නිවසේ තිරයට අළුතම,
ආව චිත්‍රපටිය වගේ,
කොතරම් බැලුවත් වැඩි නෑ,
නුඹෙ රුව නම් අත්තම්මට...
නැන්දි පුංචි කාලෙ වගේ,
හිනා වෙලා හුරතලේට,
මොන මොනවද කියන කතා,
මී පැණි පුරවයි සවනට...

.
අයනු වගේ ගුලි වීලා,
හිතු මතේට ලොකු නැන්දිත්,
නුඹ දොයියන තොටිල්ලේම,
හරි සතුටින් දොයි කිව්වලු...
අත්තා ඇවිත් හනි හනිකට,
නුඹ දෝතින් අරගත්තට,
නුඹ වගෙ නොව මං දකින්න,
සති තුනක්ම පහු වුණාලු...

.
කොලු පැටවුන් දාස් ගණන්,
මෙල්ල කලත් හරි හරියට,
කෝටු පාර දී නෑ නුඹෙ,
ලොකු අත්තා කිසි දින මට...
කාල තුවක්කුවට වඩා,
සවි තිබුණත් අත් පා වල,
ඊට වඩා මෙලෙක් හිතක්,
දැක නෑ මං මේ මිහි පිට...

.
තත්පර කටුවට රුපුයුද,
තුවාල පොදි යට ගියාට,
තවමත් ඒ ඇඟ ඇතුලේ,
යකඩ කෑලි කකියනවලු...
විසි වසරක දිගු මතකයෙ,
කඳුලු පිටාරයෙ ගියාට,
උඹෙ හිනාව දැක්ක තැනදි,
දුක් ඈතට ඉගිලෙනවලු...

.
දොයියමු මේ පුවත අසා,
බෝනික්කෙක් වගේ යසට,
ස්තූතියි නුඹට ගොඩක්,
දිවි තිරයම එළි කලාට...
මං උන් ඒ සුව තොටිල්ලෙ,
අද සුවසේ නුඹ උන්නට,
නෑ තරහක් සුදු පැංචියෙ,
නුඹයි අපේ සුර සම්පත...

.
ලොකු නැන්දී විසින් ආ.කා.සෙ අබේකෝන් S.N.K වෙතයි ...

.
෴ ලෝචි ෴
No comments:
Post a Comment
leave your comment here...