Pages

Saturday, January 30, 2016

ජීවිතෙත් මහ පුදුම සහගත දෙයක් ...

ජීවිතෙත් මහ පුදුම සහගත දෙයක් ... එක එක වෙලාවට අපිට එක එක බැඳීම් අරමුණු ආශාවල් ඇති වෙනවා ... ඒත් අපි ජීවිතේ නියම අරමුණ තේරුම් ගන්න බැරුව මොන තරම් රස්තියාදු වෙනවද?අද වෙද්දි ජීවිතේ පුදුමාකාර හිස් ගතියක් මට දැනෙනවා ... සල්ලි වලට නිවන්නත් බැරි මොකද්දෝ අඩුවක් දැනෙනවා ... ඒ අඩුව පුරවන්න පුළුවන් ජීවියෙක් මේ කොහේ හරි ඉන්නවද කියන්න මම දන්නෙ නෑ ... දුක් වෙන්න වත් කාරණවක් නැති වීම තරම් වේදනාවක් ජීවිතේ නැති තරම් ... සතුටු වෙන්න පුළුවන් මෙහෙමයි කියලා ක්රමයක් ගැන වත් අදහසක් නොතිබ්බම ජීවිතේ පුදුමාකාර හිස් බවක් දැනෙන්න ගන්නවා ... මිනිස්සුන්ගෙ ජීවිතේ රහසක් තියෙන්න ඕන ... ලබාගන්න අමාරු දෙයක් තියෙන්න ඕන ... වේදනාකාරී මතකයක් තියෙන්න ඕන ... ඒ වගේම ඉඳලා හිටලා ඒ දේවල් ජීවිතේ නැත්තටම නෑ හිතෙන්න මග හදන දෙයක් තියෙන්න ඔන ...නැත්නම් කෙනෙක් ඉන්න ඕන ... මිනිස්සුන්ගෙ ජීවිත වැරදිලා වැරදිලා මානසිකව බිඳ වැටිලා කර කියා ගන්න දෙයක් නැතිව ඉන්න මොහොතක සුර දූතයෙක් වගේ කොහෙන්දෝ කෙනෙක් ඇවිල්ලා ඒ ජීවිත වෙනස් කරනවා මම සිනමාවෙ දැකලා තියෙනවා ... ඒත් ... ඇත්ත ජීවිතේ එහෙම වෙන්නේ අඩුවෙන් ... බොහොම අඩුවෙන් ... සමහර විට නැත්තටම නෑ ... ඒත් මට ලැබුණා ..

ඒත් දැන් ඒකෙනේ පලක් නෑ. 
  • මේ ආත්මෙදි මට මොකුත් එපා ... මගෙ පව්ම ගෙවෙන්න ... මං ඉවසන්නම් ! ණය ගෙවලා පින් කරන්නයි ඕන ... මට පිහිට වෙන්න ... දෙවියනේ ... මේ කරුම ජීවිතෙන් වෙන්වෙලා මතු භවයකවත් සතුටින් ජීවත් වෙලා සතුටින් මැරිලා යන්න සෙත් පතන්න ... ! තෙරුවන් සරණයි !!!

Tuesday, January 26, 2016

උඹටත් නොතේරෙන කතාවක් !


වෙලාවකට උඹ මල කරදරයක් ... එහා පැත්තෙ ඉඳන් දොඩවනවා ...
මට හාන්කවිසියක් වත් නෑ ... උඹ දොඩවන්නෙ මොනවද කියලා ...
මොකද මං ඉන්නෙ මගේ හිතේ ගින්දරේ ...
උඹට වගක් නෑ ... උඹට බරක් පතලක් නෑ ...
උඹට වගක් දැනුණත් ... මොහොතින් උඹ ඒ වගෙන් මිදෙනවා ...
උඹ ආයෙත් උඹෙ ආධිපත්‍ය පිරුණු උඹේ සුරංගනා ලෝකෙටම යනවා ...
උඹෙ සුරංගනාවිය මම නිසා ...
මම බිඳුණු සැනින් ... උඹෙ සුරංගනාලෝකේ සුන්නද්දූලි වෙනවා ...
උඹ අඬනවා ... උඹෙ කඳුලු වලින් ... උඹෙ සුරංගනා ලෝකේ උඹ ආයෙ දිනනවා!
ඒත් උඹ නොදන්න එක දෙයක් තියෙනවා !
ඒ ... මම සුරංගනාවියක් නෙවේ කියලා ...
උඹ දකින සුරඟන ඇතුලේ ...
එක් හැපින්නක් ඉන්නවා ... එක් යකින්නක් ඉන්නවා ...
එක් මුවැත්තියක් ඉන්නවා ... එක් පරාජිතයෙක් ඉන්නවා ...
එක් පවු කාරියක් ඉන්නවා ...
ඒත් උඹෙ කරුමෙට...
උඹ හැමදාම දකින්නේ ...
දේවතාවියක් විතරයි !!!

Monday, January 25, 2016

France Crusader

  
එක් විරාමයක ...
තහංචි නැතුවම ...
නුඹ සැතපුණා ...
මා සිරියහනත ...
.
නුඹෙ හිසත් ගෙලත් මත්තෙන් ...
මා සුරත රූරා,
නතර විය පපු තලේ ...
.
සිසිල් නුඹෙ ගත... මා දෙපා දෑත් වලින් වෙලා ...
නෙත් පියා ...විඳිමින් නුඹෙ ප්‍රංශ සුවඳ ...
කොපුල් ගවසා නුඹෙ ලය මත
සිප ගතිමි ... වරෙක නුඹෙ ලයත් ...ගෙලත්...
.
සවන් ලං කර නුඹෙ ලයට ...
හැඬෙව්වෙමි තත් ...
ඇසුණා ඒ මිහිරි නද ...
නුඹ කොතරම් මිහිරිද ???
ගෙල සිට ලය තෙක්
සත් කුරුස පැළඳි ...
නුඹ නිසා ...
ප්‍රේම කළෙමි ...
කුරුසයටද ...
ඉතින් ...
උඹටත් වඩා ...
මෙ ලොව කුමකට නම් පෙම් බඳින්නද ? 
.
To all the France Crusader Lovers 
 you my Guitar 

Saturday, January 23, 2016

නෙත් මානේ ...


නෙත් මානේ ...
කොලු රෑනේ ...
මගෙ හිත ගත්ත ඒ නෙතු සේයා ...
අද රහසේ ...
සිත් අහසේ ...
මට නොදැනීම නුඹ පායලා ... 
.
සුවඳින් හොවා සැනේ
සුළඟෙ රඳවා සෙනේ
එවන්නට හැකිනම් පවසා බෝ කල් නුඹට ආදරේ
බිඟුන් පියඹා ආවත්
මලට නෑ ඒ පින් දම් ...
අඟවන්න බෑ මේ වගක් ඔහේ තිබුණාවෙ ආදරේ ... 
.
කල්පයකි මේ ගතවෙන්නේ
නුඹෙ සිත නෑ මම දන්නේ
උහුලන්න බෑ නුඹෙ සිනහව අන්සතු වුණොතින් මේ භවේ
නුඹේ රුවමයි සිහිවන්නේ ...
නුඹේ ස්වරමයි මිමිණෙන්නේ ...
පලක් නෑ මේ ලතැවිල්ලෙන් ඔහේ දැණුනාවෙ ආදරේ ... 
.
 විලෝචනා 







උඹට හා හා පුරා කියලා ලියපු පළවෙනි ගී පද පෙළ ... මගේ සින්දුවට වඩා Pawani ගෙ සින්දුව ඒ නිසාද මන්දා ... මට වටිනවා ... 



  
පායනා දෑසෙ තාරුකා ...
නුඹෙ හසරැල්ලේ ... විහිදිලා
සිත සොරා ගත් සඳ මගේ ...
අද මගෙ වෙලා ...
මා දෑස මානයේ ...
.
නුඹ ළඟම දැවටෙන්නම් ...
නෙත කඳුලු පිසලන්නම් ...
රෝස පෙති දෑල උන්මාද තනුවක් වෙන්නම් ...
.
නුඹෙ හීන් හිනාවට කෝල කතාවට මා මන්මත් වේවි ...
මා නෙත් පියාන නුඹෙ ළයට තුරුළු වී උණුහුම අයදීවී ...
මිහිරේ ...
.
अधूरी सी इस दिल के ख्वाबों में,
अब तुम ही हो,
हर ख्वाहिशों में...
तेरे मेरे यह दरमियान,
यह फासले फिर ना सताए... 🎶
.
වස්සානේ පිණි බින්ඳු...
අහසේ දේදුණු ඇන්ඳු...
මාගෙ සිත් අහසේ නුඹ රැන්ඳු සමණල් සිහිනේ ...
.
රන් වන් පාට පාට තටු දෑල විහිද මා හැඟුමන් විසිරේවී...
මා පැතු හීන මන්දිරේ ප්රේම සිහසුනේ නුඹෙ සිත රජයාවී...
සොඳුරේ ...

Friday, January 22, 2016

දෙවිදිහක වෙස් ගත්, එකම මාරයෙකි


අඳුරු මූකලානේ,
මහ රූස්ස ගස් අතරින් පතරින්,
දැන් දැන් ඇඟට කඩාපාත් වෙතැයි සිති,
කලු වලාකුළු කීතු කීතු කරමින්,
අකුණු ඉරි අන්ඳා,
ගෙරවිලි හඬින් දෙවනත් වී,
මූසල වූත් ගුප්ත වූත් විස කුරු සර්ප විමාණේ,
මා මහ කුණාටු වරුසාවකට ගොදුරු විය ...
.
හරිත පැහැ ,මුදු සුවඳ,
කිසි සේත් මතක නැති,
කර්කෂ හුලඟින්,
ගස් කොලන් වියලා,
පිපාසිතව වියරුවී,
ඉරි තලා ගිය පොළොවේ,
ගිණියම් ඉරට පිච්චි පිච්චි,
ක්ලාන්තව වැටී සිටි විටක,
නුඹ මා සොයාගත්තැයි,
අසිහියෙන් මෙන් මතකයට නැගුණද,
ඒ ගිණියම් ඉඩෝරෙත්,
මේ කාලකණ්ණි කුණාටුවෙත්,
මට පෙණෙනුයේ ...
දෙවිදිහක වෙස් ගත්,
එකම මාරයෙකි........ !!!

Tuesday, January 19, 2016

ඇයට එරෙහිව ඇය !


.
අම්මී ... ඇය තරම් බල්ලන්ට බය කෙනෙක් නොවීය.ඇය හුරු වුණ සතෙක්ට කරුණාව දැක්වුවද මම දන්නා තරමින් ඉස්සර නම් ඇය බල්ලන් දකිනා විට පසු බසින්නීය.නමුත්
සෑම සරසවි නිවාඩුවකම නිවස බලා යන මටත් නිවසට යන නිවැසියන් කාටත් අම්මිගෙන් මෑතකදී සිට ලැබෙන සුපුරුදු අනතුරු ඇඟවීම නම් මෙයයි!
.
" බැල්ලි පැටව් දාලා ඉන්නේ,ගෙදර ළඟට එද්දි කියන්න " 
.
අපේ ගෙදරට යන අපිටත් සද්දෙ දාන්න පිරිසක් මේ විදිහට ලක ලෑස්ති වෙලා ඉන්නේ ඔවුන්ට රජ කරන්න ඉහල මාලයේ යායට ඇති ස්ලැබ් එකත් බලිය වගේ ඇර දමා ඇති විශාල ඉදිවෙමින් පවතින නිවසටම බද්ද වුණු අනික් ගොඩනැගිල්ලත් සිත් සේ ඔවුන්ට පාවිච්චියට ඉඩ දී ඇති නිසාය.අපේ අම්මිත් වෙලාවකට කියන්නී ...
.
" ඒකත් හොඳයි! හොරෙක් හතුරෙක්ට එන්නත් බෑනේ ... " 
" කෑම ටිකක් උයලා දාමු බැල්ලිට...පැටව් දාලා නිසා කිරි දෙන්න ඕනනේ,බඩගිනි ඇති "
.
ඉතිං ඒ විදිහට මෙවැනි බලු පරම්පරාවක් වෙනුවෙන් ඇයට බත් හට්ටියක් ලිපේ තැබීමට සිදුවී ඇත.පැන්නුවද නැවත පැමිණෙන්නේ එතනටමය! මමත් ඇයට දෙවනි නැත.උන්ට කාරුණික වීම මගේත් පුරුද්ද විය. 
.
ඉතින් දිනක් අම්මිත් මමත් නිවසින් පිට ගමනක් ගොස් පැමිණෙන විට බෝල බෝල වගේ බලු පැටව්න් එහෙ මෙහෙ දුවනයුරු දැක්කෙමි.ඉතින් හුරතලේට, ආදරේට මෙන් උන් පිටු පසින් පන්නන විට පැටවුන්ට කරදරයකැයි සිතූ බැල්ලිය බුරාගෙන මගේ ඇඟට කඩා පාත් වුණාය.කලබලකාරී වාතාවරණයක් ඇති වුණ අතර මටත් කර කියා ගැනීමට යමක් සිතා ගත නොහැකි විය . කෑම දැම්මත් අපෙ අම්මි උන්ට බයයි! ඒත් සැනෙකින්ම ඒ මොහොතේ අපේ අම්මි මගේ ඉදිරියට පැන මාව පසුපසට කර බැල්ලිට කෑ ගසා ඇයව පන්නා හරින්නට විය.බල්ලන් දැක්කත් බය වෙන ඇය මා වෙනුවෙන් කල මේ වික්‍රමය දැක මා විමතියට පත් විය.
.
 නැත... එහි කිසිඳු පුදුමයට කරුණක් නැත ........  පැටවුන් වෙනුවෙන් අපට එරෙහි වුණ ඇයත් ........ පැටික්කියක් වෙනුවෙන් උන්ට එරෙහි වුණ ඇයත් ........ අප කවුරුත් හඳුනන ...  ".... අම්මා..."  වන නිසා ... 

Friday, January 15, 2016

වෙඩින් කේක්


මගුල් ගෙදරකට ගියාම අපිට විශේෂයෙන්ම ලැබෙන දෙයක් තමයි වෙඩින් කේක් එක ... අම්මියි අප්පච්චියි පුරුදු වෙලා හිටියා ඉස්සර එයාලා මොන වෙඩින් එකට ගියත් එයාලගෙ කේක්ස් ගෙදර අරන් ඇවිත් අපිට දෙන්න ... අපි ඉතින් ගෙදර ගෙනාව කේක් එක බෙදාගෙන කනවා ... එතනින් ආදරේ දැනෙනවා ... මමත් පුරුදු වුනා ගෙදර අයත් එක්ක වෙඩින් එකකට ගියොත් ඒ කේක් එක ගෙනත් ඔයාට දෙන්න ... ඔයත් පුරුදු වුණා ඒක ගෙදර ගිහින් අයියා අක්කා එක්ක බෙදාගෙන කන්න ... ඊයේ බෝඩිමේ සීයා ගිය වෙඩින් එකේ කේක් කෑල්ල උදෙන්ම මට ගෙනත් දුන්නා ... අපෙ දෙමව්පියෝ හැම තැනම නෑ ... ඒත් කලාතුරකින් පිනකට අපිට සමහර තැන් වලදි ඒ ආදරේම තියෙන අය මුණගැහෙනවා... 

Friday, January 8, 2016

Kasun Kalhara

 If u r a true fan,U will hear da melody!Can U Guess Him? 
.
බිඳුණු රළ පෙළ අතරෙ හෙමිහිට,
ගොළුවෙලා ගිය කතාවක්...
දියට පිටු පා නෙතු පියා හුන්,
මුහුණු හැඳිනූ කතාවක්...
අඳුරු සිතිවිලි පරෙවි දූවට,
රහසෙ පැවසූ කතාවක්...
තනිව තටු ලා පලා ගිය සිත,
මටම සැඟවූ කතාවක්...
.
පල්ලියේ දොර කවුලු අතරින්,
කුරුසයට ගිය කතාවක්...
හදෙහි දම් සක අරුත් යලි තුන්,
මනස කැළඹූ කතාවක්...
වෙරළ තීරෙ සාත්තර කවි,
ළදුන් නොහැඳිනු කතාවක්...
චකිතයට පෙම් බැන්ඳ තොල් පෙති,
වරදකරු කල කතාවක්...
.
හරිත නිම්නේ වයින් කෙන්ඩියෙ,
සව් දියත් පිරු කතාවක්...
දිවිය ලෙස ඔහු සිතු සෙනේහය,
නොකියා ගෙන ගිය කතාවක්...
හඳ සුවඳ ගෙන දුරක තනිවුණ,
සරා සඳ රිදු කතාවක්...
සඳ මිතුර තියු මල් මිටෙන්,
මම මමමදැයි සිති කතාවක්...
.
නුරා තොල් ඇති සිසිල් පුන්,
සඳ ඕන කල එක කතාවක්...
හතර වට මල් පිපෙණ සිහිනෙට,
ආදරේ කල කතාවක්...
වහන්නැයි කියු කවුලු පියනට,
වාරු නැති වුණු කතාවක්...
සඳලු තලයට පැල්පතින් දුර වැඩිව,
ලතැවුණු කතාවක්...
.
වෛරයෙන් සිත දැවී,
අඳුරේ මැදියමේ හුන් කතාවක්...
කොවුල් රන් ස්වර අතැර,
මත් මල සමග මුසු වූනු කතාවක්...
අලුත් අළුයම සවසකැයි සිතු,
ලිහිණියකගේ කතාවක්...
පසු තැවෙන සිත නැවති මෙතෙකින්,
සදා සමුදෙන කතාවක්...
.
 විලෝචනා 

Tuesday, January 5, 2016

ඇගේ සිහිනය

පුංචි කාලේදි ඉගෙන ගෙන මදි
නටලා සෙල්ලම් කරන්නෝනෙලු 
ඉතිං ඉගෙනුම අහක දාලා
මෙඩ්ල් සහතික පුරව ගත්තලු 
.
නටල සෙල්ලම් කරල මදි තොපි
උපාධියකුත් තියෙන්නෝනෙලු 
කිව්ව හින්දා කවුරු කවුරුත්
කොහොම හරි කැම්පසුත් ආවලු 
.
එක උපාධිය මක් කොරන්නද
කෝර්සසුත් තව කරන්නෝනෙලු 
කිව්ව හින්ඳා කඩිමුඩියෙ තව
කෝර්ස් පහ හය ගොඩට දැම්මලු 
.
ගෑණු මොකටද ඉගෙන ගෙන තව
වයස හරි නම් බඳින්නෝනෙලු 
ඒක හින්ඳා උඩරටින් බොදු ගොවි
කුමාරයො හොයන්නෝනෙලු 
.
මගේ නීතියි ඇගේ නීතියි
එකට එක්කර ෆිල්ටර් කෙරුවම 
එකෙක් වත් හරි නොයන හින්ඳා
කුමර කුලකය ශුන්‍ය වෙනවලු 
.
ගුරු හතේ නම් මගුල කල් යයි
එක්කෝ ගෙදරම නාකි වෙනවලු 
තොටම ඕනෑ එකක් කරගන්
අපිට නම් උඹ මැරුණා වාගෙලු 
.
අනේ අපි නම් එහෙට එන්නෑ
කෑම වත් කට ගාලා යන්නට 
ඔතන් ඇවිදින් කෑම ඩිංගක්
පිලේ ඉඳලම කාලා යනවලු 
.
.
.
පයට පොළොවක් -හිසට වහලක් -අතට මුදලක් - කුසට අහරක් ... 
හිතට සවියක් -ඇඟිලි මුද්දක්-නෑර දිනයක් - හිසට වදයක් ... 
ඉන්න දෙයියෙක් - යකෙක් - මිනිහෙක් -මොකෙක් හරි මේ විපත දිටි නම් ... 
අනේ පිටු තුන හතරෙ CV එකට දෙනු මැන ජොබ් එකක් !!! 
.
 විලෝචනා